අකුරු එකට හැපෙන තැනක්

🦉
🦉
🦋
🦋
🦋
අකුරු තිප්පොළ
අයාලේ සැරි සරන අකුරු දැන් එකම තිප්පළක

Tuesday, August 11, 2026

සුදු පාට දූවිල්ල සහ මගේ ආත්මය White Dust and My Soul

 


        

සුදු පාට දූවිල්ල සහ මගේ ආත්මය

[INTRO — Dark, Slow Reggae | Deep Bass | Whispered Vocal]

වෙස්මුහුණු දාපු... ෆේක් ලෝකයක්...
ඒත් මගේ හුස්ම...
මගේ ආත්මය...
කාටවත්...
මරා දමන්න බැහැ!

[VERSE 1 — Dark Reggae / Hip-Hop Groove]

පෙනුම මුදු... පියකරු වුණත්,
හිත ඇතුළේ... නපුරු ලෝකයක්...
සිතාගන්න බැරි... ලුහුබැඳීමක්,
වසර ගණනාවක... උමතුවක්...

මගේ නම...
මගේ රුවත්... මුසුව තබමින්...
ෆේක් ගිණුමකින්... යක්ෂයෙක් මතුවෙයි,
මලමිනියක මුහුණක්...
සීතල ආත්මයක්...

බලෙන් පැහැරගත්... මගේ පිංතූර යට,
අවලස්සන කමෙන්ට්... මඩේ පිපෙනවා...
පෙති දාහක්... කතා මිලියනයක්,
තරහ මූණු... යායක් මට ඔරවනවා...

එක් සීතල දවසක... හිරු එළියක් ආවා,
මල් පොකුරකුත් අරගෙන... ඔහු ආවා...

ෆේක් මිනිසා මමයි...
මට ඕන... ඔයාව මෙල්ල කරන්න...”

කටහඬම... භීතියක්...
ආත්මය පුළුස්සන...භයානක  හිනාවක්...
උදේට හොඳ මනුස්සයා...
රෑට යක්ෂයෙක් වුණා...

 

 

 

 

 

කතා නොකලොත් එක් රැයක්

සිනා නොවුණොත් එක් දිනක්  

ෆේක් ගිණුමේ... ආයෙ මඩ පිරෙනවා,
මගේ පිංතූර යට... කමෙන්ට්  මල් පිපෙනවා...

හැම රෑකම...
හැම රෑකම...
මගේ ආත්මය... හඬා වැටෙනවා...

[PRE-CHORUS — Rising Tension | Emotional Vocal]

සර්--ලීන් අහුරක්...
සාමකාමී රැයක්...

පොත් දාහක් ලියන්න තිබුණු වචන,
ගුලිවෙලා... මගේ ඇඟ ඇතුළෙම...

පිලුණු ගඳ ගහන... බෙඩ් ෂීට් යට,
මං ඔහේ... ගුලිවෙලා හිටියා...

එක් දහස් එක් රැයක් වගේ...
සති ගණන්...
එක දිගට... නිදාගත්තා...

හඳ දැක්කා...
කොළ පාටට...
සමහර දවස්වල මං...

ඔව්...

විශාදය කියන්නේ... බියකරු සිහිනයක්...
දක්ෂතා වසාගත්... සුදු පාට දූවිල්ලක්...
හැම අතින්ම... මාව අකර්මන් කළ...
අඳුරු රැයක්...

ඒත් මං වැටෙන්නේ නැහැ!
මේ සටන දිනන එක...
මගේ අයිතියක්!

[CHORUS — Big Reggae + Hip-Hop Hook | Melodic]

ෆේක් ලෝකෙක... හැංගිලා රැගුවත්,
මගේ ආත්මය... මිල කරන්න බැහැ කාටවත්!

පිලුණු වචන... තරහ මුහුණු,
සිදුරු කළත්... මගේ ආත්මය...

නිදා නොවැටුණු... කෙනෙක් ඉන්නවා,
තවමත්... මගේ හිත තුළ...

මගේ ආත්මය!
මගේ පැවැත්ම!
දිනනවා...
අවසානයේ!

[VERSE 2 — Aggressive Rap | Tight Flow | Heavy Bass]

අමාරුම දවස්වල... අත්වැල් බැඳගත් යෙහෙළිය,
මුදල් සිඳුණු තැන... පෙන්නුවා සැබෑ හැඩය...

වෙස්මුහුණු පැළඳු... යක්ෂයා ළඟ අවසානයේ,
ඇයත් හිටියා... මගේ දුක විකුණලා සතුටේ...

කඳුළු වයින් කරලා... උන් බීලා,
හැම රැයකම... උන් සතුටු වුණා!

නීතියේ දොරටු... වැහුණත්,
පිළිසරණක් නැති තැන...
මගේ හයිය... මමමයි!

රාත්රි අඳුරේ... නිහඬ බව බිඳින කුරුමිණියෝ හැර,
වෙන කවුද... ඉන්නේ මට මෙතැන?

කඳුළු බිඳු... ගලා ගියත්,
ආත්මය... හඬා වැටුණත්...

මම ආයෙ පිපෙනවා!
මේ කැලැල්... පපුවේ දරාගෙන!

[FINAL CHORUS — Full Power | Choir Layer | Emotional Climax]

ෆේක් ලෝකෙක... හැංගිලා රැගුවත්,
මගේ ආත්මය... මිල කරන්න බැහැ කාටවත්!

පිලුණු වචන... තරහ මුහුණු,
සිදුරු කළත්... මගේ ආත්මය...

නිදා නොවැටුණු... කෙනෙක් ඉන්නවා,
තවමත්... මගේ හිත තුළ...

මගේ ආත්මය!
මගේ පැවැත්ම!

දිනනවා!
දිනනවා!
අවසානයේ!

[OUTRO — Minimal Dub Reggae | Music Fading]

ෆේක් යක්ෂයා පන්නන්න...
තොවිලයක් නටන්නට...
සයිබර් කට්ටඩි ගෙන්නුවත්...
උන් නියම තක්කඩි...

විශාදය කියන්නේ...
සුදු පාට දූවිල්ලක්...
ජීවිතය වටකරන...
කළු කුණාටුවක්...

ඒත්...
මගේ සැබෑ හඬ...
කවදාවත් නිමෙන්නේ නැහැ...

මම...
තවමත්...
මෙතනමයි...

නොනැමී.

Upeksha Nuwansreeni

................................

English Literary Adaptation

White Dust and My Soul

[INTRO — Dark, Slow Reggae]

A world behind a thousand masks...
A counterfeit world dressed in borrowed faces...

But my breath...
My soul...

No one can take them from me.
No one can bury me alive.


[VERSE 1 — Dark Reggae / Hip-Hop Groove]

Her face was soft, almost innocent,
but somewhere underneath
lived a world of cruel dreams.

A pursuit I could never understand,
an obsession that survived
through years of silence.

They wore my name,
they borrowed my face,
and from behind a false account
a monster slowly emerged—

a corpse wearing a human face,
a soul gone cold.

Beneath the pictures
they had stolen from me,
a garden of ugly comments
began to bloom in the mud.

A thousand petals of poison,
a million stories invented from hatred,
while angry faces
stared back at me
from the endless fields of Facebook.

Then, one cold day,
the sunlight came back.

He came carrying a bouquet of flowers,
as though he had brought kindness
to my doorstep.

“I am the man behind the mask.
I want to break you.”

That voice was terror.

That laugh—
a dreadful sound
that could scorch the soul from within.

A good man in the morning,
a devil after dark.

If I stayed silent for one night,
if I failed to smile for one day,
the mud would return to the fake account.

And beneath my stolen pictures,
another garden of comments
would bloom.

Night after night...

My soul would fall apart.


[PRE-CHORUS — Rising, Haunting]

A handful of pills...
and one strangely peaceful night.

A thousand books worth of words
had folded themselves
inside my body,
waiting for a voice.

Beneath cold sheets
that carried the stale breath of lonely days,
I curled into myself
and disappeared.

For weeks,
like a thousand and one nights
without an ending,
I slept...

And on some mornings
the moon itself
looked green to me.

Yes...

Depression is a terrifying dream—
white dust settling over everything,
smothering the gifts
I once carried inside me.

A darkness that made me powerless
from every direction...

But I will not fall.

Winning this battle
is my right.


[CHORUS — Big Melodic Reggae / Hip-Hop]

Hide behind your counterfeit world,
dance beneath your borrowed faces—

But my soul
has no price you can afford.

Let bitter words
and angry faces
tear at the skin of me...

There is still someone
inside my heart
who refused to sleep.

That is my soul.
That is my existence.

And in the end...

I will rise.


[VERSE 2 — Aggressive Rap]

The friend who held my hand
through the hardest days
showed me her true face
when the money disappeared.

In the end,
she stood beside the monster
behind the mask.

They turned my sorrow into a feast,
drank my tears
as though they were wine,
and celebrated
while I was breaking.

Night after night.

When the doors of justice closed,
when there was nowhere left to turn—

I became my own refuge.
I became my own strength.

Who else was there?

Only the insects
breaking the silence of the night,
singing in the darkness
as if they knew
I was still alive.

Let the tears fall.

Let the soul collapse.

I will bloom again—

carrying every scar
upon my chest.


[FINAL CHORUS — Full Power / Emotional Climax]

Hide behind your counterfeit world,
dance beneath your borrowed faces—

But my soul
has no price you can afford.

Let bitter words
and angry faces
tear at the skin of me...

There is still someone
inside my heart
who refused to sleep.

That is my soul.
That is my existence.

I will rise.
I will rise.
In the end.


[OUTRO — Minimal Dark Dub Reggae]

We summoned shamans
to drive the false devil away...

But even the cyber-exorcists
wore masks of their own.

Depression is white dust—
a pale storm
that settles quietly
until it begins to destroy a life.

But my true voice
will never disappear.

I am still here.

Still breathing.

Still standing.

Unbowed.

Upeksha Nuwansreeni

 

Sunday, July 5, 2026

සිරුර සහ අකුරු: ලේඛනය පිළිබඳ ප්‍රපංචවේදී විමසුමක්

 



"සෑම කෙනෙකුගේම දවසේ සාහිත්‍යයක් ගොඩනැගිය හැකි වැදගත් මොහොතක් තිබේ. ඔබ ලිවිය යුත්තේ ඒ ගැනයි."රේමන්ඩ් කාවර්

මෙලොඩ්‍රාමා ශානරය නොව (අතිශයෝක්තියෙන් හැඟීම් ප්‍රකාශ කරන නාට්‍යමය ශෛලියක්) මානව හැඟීම් පිළිබඳව ලිවීමේදී  යම් අවස්ථාවක අපට එම  ලිවීම නැවැත්වීමට අවශ්‍ය වුවහොත් ඒ  සඳහා සෙමින් හුස්ම ගනිමින් ශරීරයට දැනෙන දේ කෙරෙහි අවධානය යොමු කිරීමෙන් සාමාන්‍ය කතන්දර රටා මගහැරිය හැකිය. බියෙන් පසුවන කෙනෙක් සාක්කුවක යමක් සොයන අවස්ථාවක් ලේඛනය ඔස්සේ  පණගැන්වීමට අවශ්‍යය යයි අපි සිතමු. පළමුවෙන්ම පෑන බිම තබා, ඇස් වසාගෙන, එම චරිතය අප තුළම අත්විඳිය යුතුය. සෙමින් ..වඩාත් සෙමින් ... සුළු දේවල් කෙරෙහි පවා අවධානය යොමු කරමින් මිලිමීටරයෙන් මිලිමීටරය සිතිවිලි දැහැන තුළ චලනය විය යුතුය.හැගීම් ගැන ලිවීමේදී මාව පුදුමයට පත් කළ එක් අවස්ථාවක් තිබුණා. මා වර්තමානයේ ලියමින් සිටින නවකතාවේ බිය ගැන එක් ජේදයක් ලිවීමේදී පෙර පරිදි කළ අභ්‍යාසයකදී මට දැනුණු දැඩි අපහසුතාවයයි. එය සැබෑම අත්දැකීමක්! කලක් වඩාම ආදරය කළ අයකු මා පාවා දුන් මොහොතේ හැගීම මගේ ආත්මය පුරා පැතිර ගියා. මොහොතකින් මා බිය සම්බන්ධයෙන් කුඩා සටහන් කිහිපයක් ලියා තැබුවා මා යළීත් පුදුමයට පත් වුණා. ඊට හේතුව නම් මා විසින් ලියූ දේවල්වල ගුණාත්මක භාවයයි. ලිටිල් හවුස් කතා මාලාව සිංහල භාෂාවට පරිවර්තනය කළ ප්‍රකට ශ්‍රී ලාංකේය පරිවර්තිකාවක වුූ ගංගා නිරෝෂීණී සුදු වැළිකන්ද වරක් මෙසේ ප්‍රකාශ කර සිටියා.සීතල සමයේ දැඩි සීතලෙන් කණ්ණාඩියක් අසළට පැමිණ ඈනුමක් යවන විට සීතල වීදුරුවේ බැඳී ගිය අවස්ථාවක් සම්බන්ධ වැකියක් පරිවර්තනය කිරීමේදී සීතල රටකදී එම ක්‍රියාව එලෙසින්ම කර බැලූ බවත්, එම ක්‍රියාවේ හැගීම ශරීරය මගින් මොළයට නිවැරදිව දුන් පසු අදාළ පරිවර්තනය සාර්ථකව නිම කර ගත හැකි වූ බවත් ඇය කියා තිබුණා.මගේ තත්වය ද මෙබදුම වූයෙන් ඇතැම් සංකීඍ්ණ හැගීම් ප්‍රකාශන ලිවීමේදී උවමනාවට වඩා මම මගේ ශරීරය අවදානමට ඇද දැමූ අවස්ථා ද තිබුණා. මෙසේ ප්‍රපංචමය වශයෙන්  අත්විඳින සහ අත්ලබන දේ ශරීරයෙන් සංජානනය කිරීමෙන් හෝ මනසින් විඳීමෙන් ලිවීමට මා තුළ වූයේ සහජ පුරුද්දක් මුත්, මෙම නිර්මාණාත්මක ලේඛන ක්‍රමවේදය අහඹු දෙයක් නොව, ලෝකයේ ඉතා දියුණු සහ පිළිගත් ලේඛන කලාවේ "Embodied Writing" සහ "Phenomenological Writing" (ප්‍රපංචවේදී ලේඛනය) යන ක්ෂේත්‍රවලට අයත් ඉතාමත් ප්‍රබල ප්‍රවේශයකි.මෙය ශාස්ත්‍රීය වශයෙන් තහවුරු වන ප්‍රධාන න්‍යායන් සහ ක්‍රමවේද කිහිපයක් පවතී.

ඉන් පළමු වැන්න නම් දේහගත සංජානනයයි. මනෝවිද්‍යාව සහ ලේඛන කලාව තුළ මෙය ඉතා වැදගත් න්‍යායකි. මෙහි මූලික අදහස වන්නේ "මනස සහ ශරීරය වෙන් කළ නොහැකි" බවයි. සාමාන්‍ය මතය නම් ලිවීම සඳහා ලේඛකයාට සියළු සංඥා ලබා දෙන්නේ  මොළයෙන් පමණක් බවයි. නමුත් ප්‍රපංචවේදී ලේඛන න්‍යායට අනුව බිය, සතුට ආශාව වැනි   හැගීම් ලියන විට ලේඛකයාගේ ශරීරය තුළත් එම හැගීම භෞතිකව දැනිය යුතු වේ. මම  පෑන බිම තබා ඇස් වසාගෙන ශරීරය කෙරෙහි අවධානය යොමු කරන්නේ මෙම න්‍යාය ප්‍රායෝගිකව අත්හදා බැලීමටයි. මෙය "Somatics in Writing" ලෙසද හැඳින්වේ.

දෙවැන්න  සංවේදනය පිළිබඳ ප්‍රපංචවේදයයි. මොරිස් මර්ලෝ-පොන්ටි නම් ප්‍රංශ දාර්ශනිකයාගේ දර්ශනය මෙයට ඉතා සමීප වන අතර, ඔහු පවසන්නේ ලෝකය අපට දැනෙන්නේ අපගේ ශරීරය හරහා බවයි.ඔබ විසින් නිර්මාණය කරන චරිතය උණුසුම් කෝපි කෝප්පයක් බොන විට ලේඛකයා වන  ඔබේ තොල් අතරින් ද උණුසුම් කෝපි බිඳුවක් උගුරට පෙරී  යාම යනු පරිකල්පනය පමණක් නොව ශරිරයේ භාෂාවද ලේඛනයට රැගෙන ඒමයි.

මෙහි තෙවන සිද්ධාන්තය නම් , ක්‍රමවේද ලේඛනයයි. සිනමාවේ ක්‍රමවේද රංගනය (චරිතයට මුළුමනින්ම ඇතුළු වීම) යනුවෙන් සිද්ධාන්තයක් පවතින අතර , ලේඛන කලාව තුළ දී Jack Grapes නම් ගුරුවරයා විසින්  මෙය ක්‍රමවේද ලේඛනය ලෙස ප්‍රචලිත කරන ලදී. ඔහුගේ ප්‍රධාන ඉගැන්වීමක් වන්නේ:"ඔබේ චරිතයට යම් හැගීමක් දැනෙනවා නම්, ඔබ එම හැගීම  ගැන ලියන්න එපා; එම හැගීම  ඔබට දැනෙන ආකාරය සහ එම හැගීම නිසා ( බිය හෝ සතුට වැනි) ඔබේ ශරීරය චලනය වන ආකාරය ලියන්න." මා ආරම්භක ජේදයේදී ඔබට කියූ "මිලිමීටරයෙන් මිලිමීටරය සිතිවිලි දැහැන තුළ චලනය වීම" යනු මෙම ක්‍රමවේද ලේඛණ න්‍යායෙහි එන "Deep Image" සහ "Micro-observation" තාක්ෂණයයි.

සිවු වැන්න නම්, මනස එකඟ කරවා ගැනීමේ ලේඛන ශානරයයි. මෙය නූතන ලේඛන කලාවේ ඉතා ප්‍රචලිත එකකි. නිදසුනක් ලෙස, බියෙන් පසුවන චරිතයක් ලියනවායැයි අපි සිතමු. එවිට ලේඛකයා ද "වර්තමාන මොහොත" තුළ මනස ස්ථාවර කර ගනී.මා පෙර සඳහන් කළාක් මෙන් අප  පෑන බිම තබා ඇස් වසාගෙන හුස්ම ගැනීමේ වේගය පාලනය කරන්නේ අපගේ මනස එම චරිතයේ වේගයට සමාන කිරීමටයි. මෙය "Flow State" (ප්‍රවාහ තත්ත්වය) කරා ළඟා වීමට ඇති කෙටිම මඟයි. පවසන්න එපා, පෙන්වන්න !ලේඛන කලාවේ මූලිකම නීතිය මෙයයි. "ඇය බියෙන් සිටියා" යැයි පැවසීම වෙනුවට, ඇය කුමක් හෝ දැක වෙව්ලන ආකාරය, ඇයගේ ශරීරය එම හැගීමට ප්‍රතිචාර දක්වන ආකාරය  චිත්‍රණය කිරීම ඔබේ ක්‍රමවේදයේ හරයයි. ඉන් පාඨකයාට එම හැඟීම සංජානනීයව අත්විඳීමට අවස්ථාව ලැබෙනවා.

 ලෝප්‍රකට ලේඛකයන්ගේ  ලිවීමේ ක්‍රියාවලිය ගැන හදාරන්නට මම ප්‍රිය කරන අතර බොහෝ විශ්ව සම්භාව්‍ය නවකතා ලිවීමට  ප්‍රකට ලේඛකයන් විසින් අත පය තුවාල කර ගැනීමේ සිට අනෙකවිධ ශරීර අභ්‍යාස සහ නොයෙකුත් තකතීරුකම් අත්හදා ඇති බව දැන ගැනීමෙන් පසු, සම සරාගී ප්‍රේමයක් ගැන අත් දැකීමක් ලබා ගන්නට ගොස් ලක්ෂ ගානක බැංකු තැන්පතුවක් අහිමිවීමේ දුක මදකට තුනී වී ගොස් මා තුළ සැනසිලිදායක හැඟීමක් ඉතිරි විය.ලේඛකයකු විසින් ස්වකීය  ජීවිතය සහ ශරීරය හැගීම් නිරූපණය උදෙසා පර්යේෂණයට ලක් කිරීමේ අවදානම ඔහුගේ කෘතිය මෙන්ම ජීවිතය ද අවබෝධයෙන් සහ ජීවයෙන් පුරවා තබන බව  මගේ අවංක හැඟීමයි.

 

උපේක්ෂා නුවන්ශ්‍රීනි

Saturday, July 4, 2026

ලාල් හෑගොඩ: මිනිසුන්ගේ හදගැස්ම අකුරු කළ කවියා

                    

ලාල් හෑගොඩ කවියාණන්ගේ උපන් දිනය අදට යෙදී තිබුණි. සියුම් මානව ගුණාංග, ආදරය සහ නිර්ව්‍යාජත්වය ස්වකීය ජීවිතය තුළම ප්‍රගුණ කළ ඔහුගේ සේයා රූ බස අතිශය කාව්‍යාත්මක විය. ඔහු පැල්පත්වාසී ජීවිත, වීදි සරන ළඳුන්, අසරණ සහ දුක්ඛිත මිනිසුන්ගේ ආත්ම අසළ නතර වී බලා හිඳිමින් ඔවුන්ගේ කඳුළු සහ සුසුම්වල අරුත් ස්වකීය කාව්‍යාත්මක ප්‍රකාශනය බවට පත් කර ගත්තේය. මහා කාරුණිකත්වය නිසාම මමංකාරය නමැති හිස් කුහරය තුළ රැස් කර ගත් භෞතික හෝ අභෞතික කිසිවක් ඔහු ළඟ ශේෂ නොවීය. ඔහු තමා සතු ආදරය සහ සහකම්පනය යන සියල්ලම ඒවා අවැසි අසරණ මිනිසුන් වෙතම පෙරළා  පිරිනැමුවේය.

මහා කරුණාව, මානවවාදීත්වය සහ අවිහිංසාව අකුරු තුළ මෙන්ම සැබෑ ජීවිතය තුළ ද යාවත්කාලීන කළ මනුෂ්‍යයකු ලෙස ගෞරවාදරයට පාත්‍ර වූ හෑගොඩ කවියාණන්ගේ නිර්මාණ ජීවිතයේ හැරවුම් ලක්ෂය ලෙස මා දකින්නේ "මා මිනිසෙක් ඔබ ගඟක් නිසා" නම් කෘතියයි. එම කෘතිය වෙනුවෙන් ඔහුට 1994 වර්ෂයේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි විය. එම කෘතිය ප්‍රේමය, ඛේදවාචකය, සංස්කෘතිය සහ කාන්තාව යන ශානර කෙරේ පැවති ඔහුගේ සමාජ දෘෂ්ටිය හෙළිදරව් කරන කවුළුවකි. එහි එන "කුසුමාවතී" කවිය මීට කදිම නිදසුනකි.

      



කුසුම්

....................................

 

මිනී තුනක් මැරුවා

කියන

මිනිහට වහ දුන්නා කියන

අඩෝ කියලා කතා කරන

කුසුමාවතී

 

පොලේ කීර මිටි විකුණන

තන් පේන්න හැට්ට අඳින

හැන්දෑවට ගංජ උරන

කුසුමාවතී

 

පිල්ලෑවේ

බලු දං පඳුරක් පාමුල

ඇන තියා

මන්නයකුත් අතේ අරන්

රෑ කලුවර පොරවාගෙන

කවුරුන් එනකන්ද ඉන්නෙ

 

ඔය එන්නෙ

ඒ දණ්ඩෙන්

එගොඩවෙලා

ඇගේ ගොදුර

මහින්දසිරි

ඇඩ්ඩිං මාමගෙ

කොලුවා

ආණ්ඩුවේ අච්චු

කන්තෝරුවෙ වැඩ කරන

 

පැන්න ගමන් අල්ලාගෙන

මන්නය බෙල්ලට තියාන

කුසුමාවතී කතා කරයි.

 

මහත්තයෝ මං කුසුමාවතී

කීර කුසුමා නොවෙයි

සුදෝ

කුසුම් කියලා ආදරේට

කතා කරපු

මීගහගෙයි හීං එකී

 

බය උනාද මහත්තයෝ

අඳුන ගන්න බැරුව වද්ද

 

මතක නැද්ද ඉස්කෝලේ

එක පන්තියෙ අපි සිටියේ

සල් ගහ යට වැට ගාවදි

මූණ පපුව ඇඟ හැමතැන

මාව ඉම්බා මතක නැද්ද

 

ආරංචි වෙලා අපෙ අම්මට

ඒක

ඉස්කෝලෙන් අස්කෙරුවා

මාව

 

ජීවිතේ

කොහොම කොහොම වෙනස්

වුනාද ඉතින්

ජීවිතේ හරි අමාරුයි

මහත්තයො

 

පත්තිනි අම්මා නොවෙයි

මං

කොච්චර මිනිස්සු ආව

ගියත්

එකපාරට හිටියෙ එක

මිනිහයි

 

ඊයේ රෑ දෙගොඩ හරියෙ

මහත්තයා හිටියා අපෙ

දොරකඩ

හිනාවෙවී

සීවලී හාමුදුරුවන් වගෙ

යන්තමට

 

එක හීනයක්

එළිවෙන යාමෙත්

ගැස්සිලා ඇහැරුණා

ඇවිලුණා පපුව

ඒ ගින්දරමයි දුවන්නේ

තාම ඇඟ දිගේ

 

 

මතක් වෙන කොට ඔය මූණ

සීතලකුත් දුවනවා නහර

දිගේ

එක පාරට

මොහොතක් මොහොතක් ගානේ

 

අනේ සුදෝ

තවත් ඉන්න බැහැ

පොඩ්ඩක්

පුලුවං විදිහකට ඔහේ

බලා කියාගන්නං මං

එන්න යන්න මහත්තයෝ

එන්න යන්න අපේ ගෙදර

 

 ලිංගිකත්වය නිසාම ආදරය යයි සංකල්පයක් උපදී. නමුත් එය කුමක්දැයි මෙලොව කිසිවකුට හරිආකාරව නිර්වචනය කළ නොහැක. එය අනෙකා කෙරෙහි ඇති තෘෂ්ණාවද? නැතිනම් කරුණාවදැයි නිශ්චිත නැත. කිහිප දෙනෙකු සමග ශරීර හුවමාරු කළ හැකි මුත් බොහෝවිට ගැහැණියකගේ හදවත තුළ ආදරය උපදින්නේ එක් වතාවකි. පුදුම සහගතම කරුණ වන්නේ එම ආදරය තුළ පවා කෝපයේ සහ වෛරයේ කුණාටු ප්‍රේමණීය ස්වරයෙන් සැඟව තිබීමයි. හෑගොඩ කවියාගේ "කුසුමාවතී" කවිය අපට පසක් කර දෙන්නේද එම අහිමි වූ ප්‍රේමය සහ සමාජයේ මඩ ගෑමට ලක්වූවන්ගේ හදවතෙහි තවමත් ඉතිරිව පවතින උතුම් මිනිස් ගුණාංගවල ගැඹුරයි. ඔහුගේ කවිය හරහා මනුෂ්‍යත්වය යනු කුමක්දැයි යළිත් වරක් අප විමසා බලනු ලබයි.

උපේක්ෂා නුවන්ශ්‍රීනි

සුදු පාට දූවිල්ල සහ මගේ ආත්මය White Dust and My Soul

            සුදු පාට දූවිල්ල සහ මගේ ආත්මය [INTRO — Dark, Slow Reggae | Deep Bass | Whispered Vocal] වෙස්මුහුණු දාපු ... ෆේක් ලෝකය...