ශ්‍රී ලංකාවේ දේශගුණය අනුව සෘතු භේදයක් නැතත් ඕනෑම මනුස්ස ජීවිතයක හේමන්තය, වස්සානය, ගිම්හානය ආදී සෘතු හෝ වෙන වෙනම අතීතකාමීව කියවා ගත හැකි පරිච්ඡේද පවතී. ඇතැම් පරිච්ඡේද ප්‍රේමනීය වැකි, නැවුම් බලාපොරොත්තු සහ ආදරණීය මතක වලින් පිරී පවතී. ඇතැම් පරිච්ඡේදවල ඇත්තේ ගෙවූ වසන්තය පිළිබඳ මතක පමණක් ඉතිරි වූ කටුක ජීවන මතක දහරාවකි.
අපගේ ජීවන පරිච්ඡේද කිසියම් සාහිත්‍ය කෘතියකට පරිවර්තනය කරන විට අපි සතු අතීතකාමී මතක, ව්‍යුත්පත්තීන් සහ වර්තමානයේ ජීවිතය පිළිබඳව ශේෂ වූ හැඟීම් දිව්‍යමය ආවේශයකින් මෙන් අප විසින් පූර්ව සැලසුම් නොකළ ආකාරයේ ප්‍රකාශනයකට පාත්‍ර වේ. සිදු වූ දෑ ඒ අයුරින්ම හෝ අප ආසා කළ සිදුවීම් ඒ අයුරින්ම ලියා තැබීම කලාවක් නොවේ. ඒ කිසිවක්ම ඒ අයුරින්ම නැති එනමුත් අප ගෙවූ ප්‍රේමණීය සෘතූන් පිළිබඳ කිසියම් හැඟීමක් පමණක් ශේෂ වන ලේඛනයක් සාහිත්‍ය නිර්මාණයක් වෙයි.
"සර්පයාගේ දියණිය" සහ අලංකාර ගුරුවරයා
මා මගේ පළමු නවකතාව වූ “සර්පයාගේ දියණිය” ලියන්නේ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාවක ස්වාධීන පර්යේෂණ නිබන්ධනය වශයෙනි. එම නවකතාව ලිවීමට ප්‍රධාන පෙළඹුම් කාරකය වූයේ එවක විශ්ව විද්‍යාලයේ ජනප්‍රියව සිටි අලංකාර ගුරුවරයෙකි. මා ඔහුට අලංකාර ගුරුවරයා යැයි කීවේ ඔහු බාහිරව පවත්වා ගත් අලංකාර ක්‍රමවේද නිසා සම්ප්‍රදායික විශ්ව විද්‍යාල පද්ධතියේ මහාචාර්යවරයා යන භූමිකාව අරභයා වූ වෘත්තීය පෙනුම යන සීමාව බිඳී ගොස් තිබීම හේතුවෙනි. ඔහු සිය ශෝභන සහ මෝස්තරවාදී දේහය තුළින් යම් ආකාරයක සංස්කෘතික විභේදනයක් කර තිබූ අතර, එම වීරවත්වය ඔහු බලෙන් නඩත්තු කළ එකක් ලෙස නොපෙනුණි. ඔහුගේ සහජ ආශය තුළම පවතින්නට ඔහුට ශක්තිය තිබුණි.
මා වඩාත්ම ආසා කළේ ඔහුගේ අරුමැසිවාදී ඇඳුම් මෝස්තර සහ නිදහස් ජීවන රටාවටය. එමෙන්ම, ඔහුගේ මිහිරි සහ නිරහංකාරී සිනහව, රෝස පැහැති කම්මුල් සහිත කුඩා දරුවකුගේ බඳු මුහුණ විශේෂයෙන්ම කැරළි සහිත කොණ්ඩය පාඨකයාට ස්වකීය පරිකල්පනය තුළ සදාතනික ප්‍රේමයක් ගොඩ නැංවිය හැකි චරිතයක් බවට ඔහුව ගෙන ඒමේ ආශාව මා තුළ ඇති කළේය. ඔහු ගැන මා තුළ තිබූ ආශාව හෝ මුදු හැඟීම මා කිසි දිනක නොසිතූ සහ නොදුටු චරිත සමූහයක් හරහා දිව්‍යමය බලවේගයකින් මෙන් පිටු මත ලියවෙන විට, මගේ යටි සිතේ කාලයක් තිස්සේ සැඟවී තිබූ හැඟීම් සහ මතක දහරාවන් එම අකුරු මත හැඟීම් ලෙස නිරූපණය වී තිබෙනු මට වැටහුණේ කෘතිය නිම වී පාඨක අවකාශයට ද ගොස් බොහෝ කලක් ගිය පසුවය.
ජීවිතයේ බිඳී යාම් සහ නිර්මාණකරණය
අපගේ ජීවිතයේ අඳුරු හෝ දරුණු ඛේදවාචකයක් හෝ ගැඹුරු ලෙස බිඳී යාමක් හට ගත් විට "ඔබට දැන් නවකතාවක් ලිවිය හැකි නොවෙදැයි" සමීපතමයන් ඔබෙන් ප්‍රශ්න කරනු ඇත. ජීවිතය ගැඹුරු ලෙස බිඳී ගිය කල්හි අප කළ යුත්තේ අර්බුදයේ සන්සුන් අවසානයක් එන තෙක් කිසිවක් ලිවීමට තරම් ඉක්මන් නොවී, අප තුළ මේ මොහොතෙහි පවතින හැඟීම්, යථාර්ථය සහ මායාව අතරින් වෙන් කොට මනාව අවබෝධ කර ගැනීමයි. එයට කාලයක් ගත වේ. අර්බුදකාරී හෝ මිහිරි සෘතුවකින් පසු අප කෘතිය තුළට රැගෙන යන්නේ අප තුළ හට ගත් සත්‍ය ගැටුම හෝ සත්‍ය චරිත නොව, ඒ සියල්ල විසින් අප තුළ ඇති කළ හැඟීම් දහරාවයි.
“Show, Don’t Tell” (පවසනු වෙනුවට මවා පෙන්වන්න)
සාහිත්‍යය යනු හුදෙක් සිදුවීම් පෙළගැස්වීමක් පමණක් නොවන අතර එය පාඨකයාගේ පරිකල්පනය තුළ ලෝකයක් ජීවමාන කිරීමේ කලාවයි. නිර්මාණාත්මක ලේඛකයෙකු ලෙස අප මුහුණ දෙන විශාලම අභියෝගය වන්නේ, පාඨකයාට චරිතයක වේදනාව, ප්‍රීතිය හෝ බිය සෘජුවම ‘පවසා’ ඔවුන්ව මඟ හරවා නොගෙන, එම හැඟීම ඔවුන්ටම ‘අත්විඳීමට’ අවස්ථාව ලබා දීමයි.
ඇයි අපි “කියන්න” (Tell) උත්සාහ කරන්නේ? බොහෝ විට ලේඛකයින් තමන්ගේ අදහස ඉක්මනින් පාඨකයාට පැහැදිලි කිරීමට උත්සාහ කරමින් “ඇය ඉතා කලකිරීමෙන් සිටියා” හෝ “ඔහු තරහින් පසු විය” වැනි සරල වාක්‍ය භාවිත කරයි. නමුත් මෙය ප්‍රවෘත්ති වාර්තාකරණය බඳු වෘත්තීය ලිවීම් හි දකින ලකුණක් විනා නිර්මාණාත්මක ලේඛනයක් නොවේ. සෘජු අත්දැකීම් ප්‍රකාශනය පාඨකයා සහ චරිතය අතර ඇති බැඳීම ලිහිල් කරයි.
“මවා පෙන්වීමේ” (Show) රහස: ඔබේ පරිකල්පන කවුළුව විවර කොට ඒ හරහා පාඨකයාට තම මනැස් ලෝකය නිදහසේ ගොඩ නංවාගෙන ඒ දර්ශනය දකින්නට සලස්වන්න.
කියන්න (Tell): “ඇය හරිම දුකෙන් හිටි බව මට කිව්වා”
පෙන්වන්න (Show): “ඉර බැස ගියාම මල පරවෙන්නා වාගේ ඔහු හැර ගිය දවසේ මා මිය යතැයි ඇය මට කිව්වා.”
පරිකල්පනයේ නිදහස
සියල්ල අහිමි වූ කුඩා කාමරයක සිර වූ මොහොතක පවා ඔබේ සන්සුන් පරිකල්පනය වඩා තියුණු ව අවදි විය හැකිය. නිදහස් සුන්දර කාමරයක්, පර්සියන් හෝ හස්කි බල්ලකුගේ උණුසුම, රුසියානු සාහිත්‍යයේ මිදුලෙන් නෙලාගත් රත් පැහැ චෙරි ගෙඩි කිහිපයක් ඔබගේ මනැස් ලෝකයේ ගොඩ නැගෙන නිවසේ තිබිය හැකිය. එම වස්තූන් සියල්ල ජීවමාන වන්නේ අතීතයේ දවසක එකී වස්තූන් අරභයා ඔබට තිබූ ආශාවේ ප්‍රමාණය මතය.
කාලයක් ගත වන විට යථාර්ථය ෆැන්ටසියක් බවට පත් වන අතර එයින් ඔබ ගොඩ නංවන පරිකල්පන ලෝකය පාඨකයාගේ රියැලිටිය බවට පත්වේ. වේදනාවේ සෘතුවක් ගෙවා දැමීමට වඩා ඉන් ප්‍රේමණීය පරිච්ඡේදයක් ගොඩ නැගීම අපහසුය. නිර්මාණාත්මක ලිවීමක් සඳහා වන දිව්‍යමය ආවේශය ඔබ වෙත ළඟාවන්නේ කාලය, ඉවසීම සහ ඔබ ලබා ගන්නා අත්දැකීම් පෙරා වෙනම ලෝකයක් මවන්නට තරම් ආත්මීය නිදහසක් ඔබ වෙත ළඟා වූ පසුවය. එය එක් අතකට වඩාත් නිවුණු සහ තවත් අතකට වඩාත් වෙහෙසකාරී හැඟීමකි.
නිර්මාණාත්මක ලේඛනය පිළිබඳව මීළඟ ලිපියෙන් යළි හමුවෙමු....

No comments:
Post a Comment