අකුරු එකට හැපෙන තැනක්

🦉
🦉
🦋
🦋
🦋
අකුරු තිප්පොළ
අයාලේ සැරි සරන අකුරු දැන් එකම තිප්පළක

Sunday, July 5, 2026

සිරුර සහ අකුරු: ලේඛනය පිළිබඳ ප්‍රපංචවේදී විමසුමක්

 



"සෑම කෙනෙකුගේම දවසේ සාහිත්‍යයක් ගොඩනැගිය හැකි වැදගත් මොහොතක් තිබේ. ඔබ ලිවිය යුත්තේ ඒ ගැනයි."රේමන්ඩ් කාවර්

මෙලොඩ්‍රාමා ශානරය නොව (අතිශයෝක්තියෙන් හැඟීම් ප්‍රකාශ කරන නාට්‍යමය ශෛලියක්) මානව හැඟීම් පිළිබඳව ලිවීමේදී  යම් අවස්ථාවක අපට එම  ලිවීම නැවැත්වීමට අවශ්‍ය වුවහොත් ඒ  සඳහා සෙමින් හුස්ම ගනිමින් ශරීරයට දැනෙන දේ කෙරෙහි අවධානය යොමු කිරීමෙන් සාමාන්‍ය කතන්දර රටා මගහැරිය හැකිය. බියෙන් පසුවන කෙනෙක් සාක්කුවක යමක් සොයන අවස්ථාවක් ලේඛනය ඔස්සේ  පණගැන්වීමට අවශ්‍යය යයි අපි සිතමු. පළමුවෙන්ම පෑන බිම තබා, ඇස් වසාගෙන, එම චරිතය අප තුළම අත්විඳිය යුතුය. සෙමින් ..වඩාත් සෙමින් ... සුළු දේවල් කෙරෙහි පවා අවධානය යොමු කරමින් මිලිමීටරයෙන් මිලිමීටරය සිතිවිලි දැහැන තුළ චලනය විය යුතුය.හැගීම් ගැන ලිවීමේදී මාව පුදුමයට පත් කළ එක් අවස්ථාවක් තිබුණා. මා වර්තමානයේ ලියමින් සිටින නවකතාවේ බිය ගැන එක් ජේදයක් ලිවීමේදී පෙර පරිදි කළ අභ්‍යාසයකදී මට දැනුණු දැඩි අපහසුතාවයයි. එය සැබෑම අත්දැකීමක්! කලක් වඩාම ආදරය කළ අයකු මා පාවා දුන් මොහොතේ හැගීම මගේ ආත්මය පුරා පැතිර ගියා. මොහොතකින් මා බිය සම්බන්ධයෙන් කුඩා සටහන් කිහිපයක් ලියා තැබුවා මා යළීත් පුදුමයට පත් වුණා. ඊට හේතුව නම් මා විසින් ලියූ දේවල්වල ගුණාත්මක භාවයයි. ලිටිල් හවුස් කතා මාලාව සිංහල භාෂාවට පරිවර්තනය කළ ප්‍රකට ශ්‍රී ලාංකේය පරිවර්තිකාවක වුූ ගංගා නිරෝෂීණී සුදු වැළිකන්ද වරක් මෙසේ ප්‍රකාශ කර සිටියා.සීතල සමයේ දැඩි සීතලෙන් කණ්ණාඩියක් අසළට පැමිණ ඈනුමක් යවන විට සීතල වීදුරුවේ බැඳී ගිය අවස්ථාවක් සම්බන්ධ වැකියක් පරිවර්තනය කිරීමේදී සීතල රටකදී එම ක්‍රියාව එලෙසින්ම කර බැලූ බවත්, එම ක්‍රියාවේ හැගීම ශරීරය මගින් මොළයට නිවැරදිව දුන් පසු අදාළ පරිවර්තනය සාර්ථකව නිම කර ගත හැකි වූ බවත් ඇය කියා තිබුණා.මගේ තත්වය ද මෙබදුම වූයෙන් ඇතැම් සංකීඍ්ණ හැගීම් ප්‍රකාශන ලිවීමේදී උවමනාවට වඩා මම මගේ ශරීරය අවදානමට ඇද දැමූ අවස්ථා ද තිබුණා. මෙසේ ප්‍රපංචමය වශයෙන්  අත්විඳින සහ අත්ලබන දේ ශරීරයෙන් සංජානනය කිරීමෙන් හෝ මනසින් විඳීමෙන් ලිවීමට මා තුළ වූයේ සහජ පුරුද්දක් මුත්, මෙම නිර්මාණාත්මක ලේඛන ක්‍රමවේදය අහඹු දෙයක් නොව, ලෝකයේ ඉතා දියුණු සහ පිළිගත් ලේඛන කලාවේ "Embodied Writing" සහ "Phenomenological Writing" (ප්‍රපංචවේදී ලේඛනය) යන ක්ෂේත්‍රවලට අයත් ඉතාමත් ප්‍රබල ප්‍රවේශයකි.මෙය ශාස්ත්‍රීය වශයෙන් තහවුරු වන ප්‍රධාන න්‍යායන් සහ ක්‍රමවේද කිහිපයක් පවතී.

ඉන් පළමු වැන්න නම් දේහගත සංජානනයයි. මනෝවිද්‍යාව සහ ලේඛන කලාව තුළ මෙය ඉතා වැදගත් න්‍යායකි. මෙහි මූලික අදහස වන්නේ "මනස සහ ශරීරය වෙන් කළ නොහැකි" බවයි. සාමාන්‍ය මතය නම් ලිවීම සඳහා ලේඛකයාට සියළු සංඥා ලබා දෙන්නේ  මොළයෙන් පමණක් බවයි. නමුත් ප්‍රපංචවේදී ලේඛන න්‍යායට අනුව බිය, සතුට ආශාව වැනි   හැගීම් ලියන විට ලේඛකයාගේ ශරීරය තුළත් එම හැගීම භෞතිකව දැනිය යුතු වේ. මම  පෑන බිම තබා ඇස් වසාගෙන ශරීරය කෙරෙහි අවධානය යොමු කරන්නේ මෙම න්‍යාය ප්‍රායෝගිකව අත්හදා බැලීමටයි. මෙය "Somatics in Writing" ලෙසද හැඳින්වේ.

දෙවැන්න  සංවේදනය පිළිබඳ ප්‍රපංචවේදයයි. මොරිස් මර්ලෝ-පොන්ටි නම් ප්‍රංශ දාර්ශනිකයාගේ දර්ශනය මෙයට ඉතා සමීප වන අතර, ඔහු පවසන්නේ ලෝකය අපට දැනෙන්නේ අපගේ ශරීරය හරහා බවයි.ඔබ විසින් නිර්මාණය කරන චරිතය උණුසුම් කෝපි කෝප්පයක් බොන විට ලේඛකයා වන  ඔබේ තොල් අතරින් ද උණුසුම් කෝපි බිඳුවක් උගුරට පෙරී  යාම යනු පරිකල්පනය පමණක් නොව ශරිරයේ භාෂාවද ලේඛනයට රැගෙන ඒමයි.

මෙහි තෙවන සිද්ධාන්තය නම් , ක්‍රමවේද ලේඛනයයි. සිනමාවේ ක්‍රමවේද රංගනය (චරිතයට මුළුමනින්ම ඇතුළු වීම) යනුවෙන් සිද්ධාන්තයක් පවතින අතර , ලේඛන කලාව තුළ දී Jack Grapes නම් ගුරුවරයා විසින්  මෙය ක්‍රමවේද ලේඛනය ලෙස ප්‍රචලිත කරන ලදී. ඔහුගේ ප්‍රධාන ඉගැන්වීමක් වන්නේ:"ඔබේ චරිතයට යම් හැගීමක් දැනෙනවා නම්, ඔබ එම හැගීම  ගැන ලියන්න එපා; එම හැගීම  ඔබට දැනෙන ආකාරය සහ එම හැගීම නිසා ( බිය හෝ සතුට වැනි) ඔබේ ශරීරය චලනය වන ආකාරය ලියන්න." මා ආරම්භක ජේදයේදී ඔබට කියූ "මිලිමීටරයෙන් මිලිමීටරය සිතිවිලි දැහැන තුළ චලනය වීම" යනු මෙම ක්‍රමවේද ලේඛණ න්‍යායෙහි එන "Deep Image" සහ "Micro-observation" තාක්ෂණයයි.

සිවු වැන්න නම්, මනස එකඟ කරවා ගැනීමේ ලේඛන ශානරයයි. මෙය නූතන ලේඛන කලාවේ ඉතා ප්‍රචලිත එකකි. නිදසුනක් ලෙස, බියෙන් පසුවන චරිතයක් ලියනවායැයි අපි සිතමු. එවිට ලේඛකයා ද "වර්තමාන මොහොත" තුළ මනස ස්ථාවර කර ගනී.මා පෙර සඳහන් කළාක් මෙන් අප  පෑන බිම තබා ඇස් වසාගෙන හුස්ම ගැනීමේ වේගය පාලනය කරන්නේ අපගේ මනස එම චරිතයේ වේගයට සමාන කිරීමටයි. මෙය "Flow State" (ප්‍රවාහ තත්ත්වය) කරා ළඟා වීමට ඇති කෙටිම මඟයි. පවසන්න එපා, පෙන්වන්න !ලේඛන කලාවේ මූලිකම නීතිය මෙයයි. "ඇය බියෙන් සිටියා" යැයි පැවසීම වෙනුවට, ඇය කුමක් හෝ දැක වෙව්ලන ආකාරය, ඇයගේ ශරීරය එම හැගීමට ප්‍රතිචාර දක්වන ආකාරය  චිත්‍රණය කිරීම ඔබේ ක්‍රමවේදයේ හරයයි. ඉන් පාඨකයාට එම හැඟීම සංජානනීයව අත්විඳීමට අවස්ථාව ලැබෙනවා.

 ලෝප්‍රකට ලේඛකයන්ගේ  ලිවීමේ ක්‍රියාවලිය ගැන හදාරන්නට මම ප්‍රිය කරන අතර බොහෝ විශ්ව සම්භාව්‍ය නවකතා ලිවීමට  ප්‍රකට ලේඛකයන් විසින් අත පය තුවාල කර ගැනීමේ සිට අනෙකවිධ ශරීර අභ්‍යාස සහ නොයෙකුත් තකතීරුකම් අත්හදා ඇති බව දැන ගැනීමෙන් පසු, සම සරාගී ප්‍රේමයක් ගැන අත් දැකීමක් ලබා ගන්නට ගොස් ලක්ෂ ගානක බැංකු තැන්පතුවක් අහිමිවීමේ දුක මදකට තුනී වී ගොස් මා තුළ සැනසිලිදායක හැඟීමක් ඉතිරි විය.ලේඛකයකු විසින් ස්වකීය  ජීවිතය සහ ශරීරය හැගීම් නිරූපණය උදෙසා පර්යේෂණයට ලක් කිරීමේ අවදානම ඔහුගේ කෘතිය මෙන්ම ජීවිතය ද අවබෝධයෙන් සහ ජීවයෙන් පුරවා තබන බව  මගේ අවංක හැඟීමයි.

 

උපේක්ෂා නුවන්ශ්‍රීනි

Saturday, July 4, 2026

ලාල් හෑගොඩ: මිනිසුන්ගේ හදගැස්ම අකුරු කළ කවියා

                    

ලාල් හෑගොඩ කවියාණන්ගේ උපන් දිනය අදට යෙදී තිබුණි. සියුම් මානව ගුණාංග, ආදරය සහ නිර්ව්‍යාජත්වය ස්වකීය ජීවිතය තුළම ප්‍රගුණ කළ ඔහුගේ සේයා රූ බස අතිශය කාව්‍යාත්මක විය. ඔහු පැල්පත්වාසී ජීවිත, වීදි සරන ළඳුන්, අසරණ සහ දුක්ඛිත මිනිසුන්ගේ ආත්ම අසළ නතර වී බලා හිඳිමින් ඔවුන්ගේ කඳුළු සහ සුසුම්වල අරුත් ස්වකීය කාව්‍යාත්මක ප්‍රකාශනය බවට පත් කර ගත්තේය. මහා කාරුණිකත්වය නිසාම මමංකාරය නමැති හිස් කුහරය තුළ රැස් කර ගත් භෞතික හෝ අභෞතික කිසිවක් ඔහු ළඟ ශේෂ නොවීය. ඔහු තමා සතු ආදරය සහ සහකම්පනය යන සියල්ලම ඒවා අවැසි අසරණ මිනිසුන් වෙතම පෙරළා  පිරිනැමුවේය.

මහා කරුණාව, මානවවාදීත්වය සහ අවිහිංසාව අකුරු තුළ මෙන්ම සැබෑ ජීවිතය තුළ ද යාවත්කාලීන කළ මනුෂ්‍යයකු ලෙස ගෞරවාදරයට පාත්‍ර වූ හෑගොඩ කවියාණන්ගේ නිර්මාණ ජීවිතයේ හැරවුම් ලක්ෂය ලෙස මා දකින්නේ "මා මිනිසෙක් ඔබ ගඟක් නිසා" නම් කෘතියයි. එම කෘතිය වෙනුවෙන් ඔහුට 1994 වර්ෂයේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි විය. එම කෘතිය ප්‍රේමය, ඛේදවාචකය, සංස්කෘතිය සහ කාන්තාව යන ශානර කෙරේ පැවති ඔහුගේ සමාජ දෘෂ්ටිය හෙළිදරව් කරන කවුළුවකි. එහි එන "කුසුමාවතී" කවිය මීට කදිම නිදසුනකි.

      



කුසුම්

....................................

 

මිනී තුනක් මැරුවා

කියන

මිනිහට වහ දුන්නා කියන

අඩෝ කියලා කතා කරන

කුසුමාවතී

 

පොලේ කීර මිටි විකුණන

තන් පේන්න හැට්ට අඳින

හැන්දෑවට ගංජ උරන

කුසුමාවතී

 

පිල්ලෑවේ

බලු දං පඳුරක් පාමුල

ඇන තියා

මන්නයකුත් අතේ අරන්

රෑ කලුවර පොරවාගෙන

කවුරුන් එනකන්ද ඉන්නෙ

 

ඔය එන්නෙ

ඒ දණ්ඩෙන්

එගොඩවෙලා

ඇගේ ගොදුර

මහින්දසිරි

ඇඩ්ඩිං මාමගෙ

කොලුවා

ආණ්ඩුවේ අච්චු

කන්තෝරුවෙ වැඩ කරන

 

පැන්න ගමන් අල්ලාගෙන

මන්නය බෙල්ලට තියාන

කුසුමාවතී කතා කරයි.

 

මහත්තයෝ මං කුසුමාවතී

කීර කුසුමා නොවෙයි

සුදෝ

කුසුම් කියලා ආදරේට

කතා කරපු

මීගහගෙයි හීං එකී

 

බය උනාද මහත්තයෝ

අඳුන ගන්න බැරුව වද්ද

 

මතක නැද්ද ඉස්කෝලේ

එක පන්තියෙ අපි සිටියේ

සල් ගහ යට වැට ගාවදි

මූණ පපුව ඇඟ හැමතැන

මාව ඉම්බා මතක නැද්ද

 

ආරංචි වෙලා අපෙ අම්මට

ඒක

ඉස්කෝලෙන් අස්කෙරුවා

මාව

 

ජීවිතේ

කොහොම කොහොම වෙනස්

වුනාද ඉතින්

ජීවිතේ හරි අමාරුයි

මහත්තයො

 

පත්තිනි අම්මා නොවෙයි

මං

කොච්චර මිනිස්සු ආව

ගියත්

එකපාරට හිටියෙ එක

මිනිහයි

 

ඊයේ රෑ දෙගොඩ හරියෙ

මහත්තයා හිටියා අපෙ

දොරකඩ

හිනාවෙවී

සීවලී හාමුදුරුවන් වගෙ

යන්තමට

 

එක හීනයක්

එළිවෙන යාමෙත්

ගැස්සිලා ඇහැරුණා

ඇවිලුණා පපුව

ඒ ගින්දරමයි දුවන්නේ

තාම ඇඟ දිගේ

 

 

මතක් වෙන කොට ඔය මූණ

සීතලකුත් දුවනවා නහර

දිගේ

එක පාරට

මොහොතක් මොහොතක් ගානේ

 

අනේ සුදෝ

තවත් ඉන්න බැහැ

පොඩ්ඩක්

පුලුවං විදිහකට ඔහේ

බලා කියාගන්නං මං

එන්න යන්න මහත්තයෝ

එන්න යන්න අපේ ගෙදර

 

 ලිංගිකත්වය නිසාම ආදරය යයි සංකල්පයක් උපදී. නමුත් එය කුමක්දැයි මෙලොව කිසිවකුට හරිආකාරව නිර්වචනය කළ නොහැක. එය අනෙකා කෙරෙහි ඇති තෘෂ්ණාවද? නැතිනම් කරුණාවදැයි නිශ්චිත නැත. කිහිප දෙනෙකු සමග ශරීර හුවමාරු කළ හැකි මුත් බොහෝවිට ගැහැණියකගේ හදවත තුළ ආදරය උපදින්නේ එක් වතාවකි. පුදුම සහගතම කරුණ වන්නේ එම ආදරය තුළ පවා කෝපයේ සහ වෛරයේ කුණාටු ප්‍රේමණීය ස්වරයෙන් සැඟව තිබීමයි. හෑගොඩ කවියාගේ "කුසුමාවතී" කවිය අපට පසක් කර දෙන්නේද එම අහිමි වූ ප්‍රේමය සහ සමාජයේ මඩ ගෑමට ලක්වූවන්ගේ හදවතෙහි තවමත් ඉතිරිව පවතින උතුම් මිනිස් ගුණාංගවල ගැඹුරයි. ඔහුගේ කවිය හරහා මනුෂ්‍යත්වය යනු කුමක්දැයි යළිත් වරක් අප විමසා බලනු ලබයි.

උපේක්ෂා නුවන්ශ්‍රීනි

Friday, July 3, 2026

වේදනාවේ සෘතු මත ලියවුණු ප්‍රේමණිය පරිච්ඡේද

 

ශ්‍රී ලංකාවේ දේශගුණය අනුව සෘතු භේදයක් නැතත් ඕනෑම මනුස්ස ජීවිතයක හේමන්තය, වස්සානය, ගිම්හානය ආදී සෘතු හෝ වෙන වෙනම අතීතකාමීව කියවා ගත හැකි පරිච්ඡේද පවතී. ඇතැම් පරිච්ඡේද ප්‍රේමනීය වැකි, නැවුම් බලාපොරොත්තු සහ ආදරණීය මතක වලින් පිරී පවතී. ඇතැම් පරිච්ඡේදවල ඇත්තේ ගෙවූ වසන්තය පිළිබඳ මතක පමණක් ඉතිරි වූ කටුක ජීවන මතක දහරාවකි.

අපගේ ජීවන පරිච්ඡේද කිසියම් සාහිත්‍ය කෘතියකට පරිවර්තනය කරන විට අපි සතු අතීතකාමී මතක, ව්‍යුත්පත්තීන් සහ වර්තමානයේ ජීවිතය පිළිබඳව ශේෂ වූ හැඟීම් දිව්‍යමය ආවේශයකින් මෙන් අප විසින් පූර්ව සැලසුම් නොකළ ආකාරයේ ප්‍රකාශනයකට පාත්‍ර වේ. සිදු වූ දෑ ඒ අයුරින්ම හෝ අප ආසා කළ සිදුවීම් ඒ අයුරින්ම ලියා තැබීම කලාවක් නොවේ. ඒ කිසිවක්ම ඒ අයුරින්ම නැති එනමුත් අප ගෙවූ ප්‍රේමණීය සෘතූන් පිළිබඳ කිසියම් හැඟීමක් පමණක් ශේෂ වන ලේඛනයක් සාහිත්‍ය නිර්මාණයක් වෙයි.

"සර්පයාගේ දියණිය" සහ අලංකාර ගුරුවරයා

මා මගේ පළමු නවකතාව වූ “සර්පයාගේ දියණිය” ලියන්නේ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාවක ස්වාධීන පර්යේෂණ නිබන්ධනය වශයෙනි. එම නවකතාව ලිවීමට ප්‍රධාන පෙළඹුම් කාරකය වූයේ එවක විශ්ව විද්‍යාලයේ ජනප්‍රියව සිටි අලංකාර ගුරුවරයෙකි. මා ඔහුට අලංකාර ගුරුවරයා යැයි කීවේ ඔහු බාහිරව පවත්වා ගත් අලංකාර ක්‍රමවේද නිසා සම්ප්‍රදායික විශ්ව විද්‍යාල පද්ධතියේ මහාචාර්යවරයා යන භූමිකාව අරභයා වූ වෘත්තීය පෙනුම යන සීමාව බිඳී ගොස් තිබීම හේතුවෙනි. ඔහු සිය ශෝභන සහ මෝස්තරවාදී දේහය තුළින් යම් ආකාරයක සංස්කෘතික විභේදනයක් කර තිබූ අතර, එම වීරවත්වය ඔහු බලෙන් නඩත්තු කළ එකක් ලෙස නොපෙනුණි. ඔහුගේ සහජ ආශය තුළම පවතින්නට ඔහුට ශක්තිය තිබුණි.

මා වඩාත්ම ආසා කළේ ඔහුගේ අරුමැසිවාදී ඇඳුම් මෝස්තර සහ නිදහස් ජීවන රටාවටය. එමෙන්ම, ඔහුගේ මිහිරි සහ නිරහංකාරී සිනහව, රෝස පැහැති කම්මුල් සහිත කුඩා දරුවකුගේ බඳු මුහුණ විශේෂයෙන්ම කැරළි සහිත කොණ්ඩය පාඨකයාට ස්වකීය පරිකල්පනය තුළ සදාතනික ප්‍රේමයක් ගොඩ නැංවිය හැකි චරිතයක් බවට ඔහුව ගෙන ඒමේ ආශාව මා තුළ ඇති කළේය. ඔහු ගැන මා තුළ තිබූ ආශාව හෝ මුදු හැඟීම මා කිසි දිනක නොසිතූ සහ නොදුටු චරිත සමූහයක් හරහා දිව්‍යමය බලවේගයකින් මෙන් පිටු මත ලියවෙන විට, මගේ යටි සිතේ කාලයක් තිස්සේ සැඟවී තිබූ හැඟීම් සහ මතක දහරාවන් එම අකුරු මත හැඟීම් ලෙස නිරූපණය වී තිබෙනු මට වැටහුණේ කෘතිය නිම වී පාඨක අවකාශයට ද ගොස් බොහෝ කලක් ගිය පසුවය.

ජීවිතයේ බිඳී යාම් සහ නිර්මාණකරණය

අපගේ ජීවිතයේ අඳුරු හෝ දරුණු ඛේදවාචකයක් හෝ ගැඹුරු ලෙස බිඳී යාමක් හට ගත් විට "ඔබට දැන් නවකතාවක් ලිවිය හැකි නොවෙදැයි" සමීපතමයන් ඔබෙන් ප්‍රශ්න කරනු ඇත. ජීවිතය ගැඹුරු ලෙස බිඳී ගිය කල්හි අප කළ යුත්තේ අර්බුදයේ සන්සුන් අවසානයක් එන තෙක් කිසිවක් ලිවීමට තරම් ඉක්මන් නොවී, අප තුළ මේ මොහොතෙහි පවතින හැඟීම්, යථාර්ථය සහ මායාව අතරින් වෙන් කොට මනාව අවබෝධ කර ගැනීමයි. එයට කාලයක් ගත වේ. අර්බුදකාරී හෝ මිහිරි සෘතුවකින් පසු අප කෘතිය තුළට රැගෙන යන්නේ අප තුළ හට ගත් සත්‍ය ගැටුම හෝ සත්‍ය චරිත නොව, ඒ සියල්ල විසින් අප තුළ ඇති කළ හැඟීම් දහරාවයි.

“Show, Don’t Tell” (පවසනු වෙනුවට මවා පෙන්වන්න)

සාහිත්‍යය යනු හුදෙක් සිදුවීම් පෙළගැස්වීමක් පමණක් නොවන අතර එය පාඨකයාගේ පරිකල්පනය තුළ ලෝකයක් ජීවමාන කිරීමේ කලාවයි. නිර්මාණාත්මක ලේඛකයෙකු ලෙස අප මුහුණ දෙන විශාලම අභියෝගය වන්නේ, පාඨකයාට චරිතයක වේදනාව, ප්‍රීතිය හෝ බිය සෘජුවම ‘පවසා’ ඔවුන්ව මඟ හරවා නොගෙන, එම හැඟීම ඔවුන්ටම ‘අත්විඳීමට’ අවස්ථාව ලබා දීමයි.

ඇයි අපි “කියන්න” (Tell) උත්සාහ කරන්නේ? බොහෝ විට ලේඛකයින් තමන්ගේ අදහස ඉක්මනින් පාඨකයාට පැහැදිලි කිරීමට උත්සාහ කරමින් “ඇය ඉතා කලකිරීමෙන් සිටියා” හෝ “ඔහු තරහින් පසු විය” වැනි සරල වාක්‍ය භාවිත කරයි. නමුත් මෙය ප්‍රවෘත්ති වාර්තාකරණය බඳු වෘත්තීය ලිවීම් හි දකින ලකුණක් විනා නිර්මාණාත්මක ලේඛනයක් නොවේ. සෘජු අත්දැකීම් ප්‍රකාශනය පාඨකයා සහ චරිතය අතර ඇති බැඳීම ලිහිල් කරයි.

“මවා පෙන්වීමේ” (Show) රහස: ඔබේ පරිකල්පන කවුළුව විවර කොට ඒ හරහා පාඨකයාට තම මනැස් ලෝකය නිදහසේ ගොඩ නංවාගෙන ඒ දර්ශනය දකින්නට සලස්වන්න.

  • කියන්න (Tell): “ඇය හරිම දුකෙන් හිටි බව මට කිව්වා”

  • පෙන්වන්න (Show): “ඉර බැස ගියාම මල පරවෙන්නා වාගේ ඔහු හැර ගිය දවසේ මා මිය යතැයි ඇය මට කිව්වා.”

පරිකල්පනයේ නිදහස

සියල්ල අහිමි වූ කුඩා කාමරයක සිර වූ මොහොතක පවා ඔබේ සන්සුන් පරිකල්පනය වඩා තියුණු ව අවදි විය හැකිය. නිදහස් සුන්දර කාමරයක්, පර්සියන් හෝ හස්කි බල්ලකුගේ උණුසුම, රුසියානු සාහිත්‍යයේ මිදුලෙන් නෙලාගත් රත් පැහැ චෙරි ගෙඩි කිහිපයක් ඔබගේ මනැස් ලෝකයේ ගොඩ නැගෙන නිවසේ තිබිය හැකිය. එම වස්තූන් සියල්ල ජීවමාන වන්නේ අතීතයේ දවසක එකී වස්තූන් අරභයා ඔබට තිබූ ආශාවේ ප්‍රමාණය මතය.

කාලයක් ගත වන විට යථාර්ථය ෆැන්ටසියක් බවට පත් වන අතර එයින් ඔබ ගොඩ නංවන පරිකල්පන ලෝකය පාඨකයාගේ රියැලිටිය බවට පත්වේ. වේදනාවේ සෘතුවක් ගෙවා දැමීමට වඩා ඉන් ප්‍රේමණීය පරිච්ඡේදයක් ගොඩ නැගීම අපහසුය. නිර්මාණාත්මක ලිවීමක් සඳහා වන දිව්‍යමය ආවේශය ඔබ වෙත ළඟාවන්නේ කාලය, ඉවසීම සහ ඔබ ලබා ගන්නා අත්දැකීම් පෙරා වෙනම ලෝකයක් මවන්නට තරම් ආත්මීය නිදහසක් ඔබ වෙත ළඟා වූ පසුවය. එය එක් අතකට වඩාත් නිවුණු සහ තවත් අතකට වඩාත් වෙහෙසකාරී හැඟීමකි.

නිර්මාණාත්මක ලේඛනය පිළිබඳව මීළඟ ලිපියෙන් යළි හමුවෙමු....

සිරුර සහ අකුරු: ලේඛනය පිළිබඳ ප්‍රපංචවේදී විමසුමක්

  " සෑම කෙනෙකුගේම දවසේ සාහිත්‍යයක් ගොඩනැගිය හැකි වැදගත් මොහොතක් තිබේ. ඔබ ලිවිය යුත්තේ ඒ ගැනයි." – රේමන්ඩ් කාවර් මෙලොඩ්‍රාමා ශාන...