අකුරු එකට හැපෙන තැනක්

🦉
🦉
🦋
🦋
🦋
අකුරු තිප්පොළ
අයාලේ සැරි සරන අකුරු දැන් එකම තිප්පළක

Tuesday, June 30, 2026

ආදරය සහ විශ්වාසය මත සහජ ඉව නිද්‍රාවේ තබා ගැනීමේ සෞන්දර්යය සහ අවදානම



            

            

පොලොන්නරුව ප්‍රදේශයේ කුඩා දැරියක වෙල් යායක් මැදින් සිය සුරතල් ඉත්තෑවා වන 'ටුටූ' සමඟ සන්තෝෂයෙන් දිව යන වීඩියෝ පටයක් මේ වන විට අන්තර්ජාලය පුරා ව්‍යාප්තව පවතී. ස්වභාවධර්මය තුළ ඕනෑම සත්ත්වයකුට ස්වකීය ආරක්ෂාව වෙනුවෙන් සහජ ඉවක් සහ ආරක්ෂක උපකරණයක් උපතේදීම ලැබී තිබේ. දළ, අං, විෂ ආදී නොයෙකුත් ආරක්ෂක ප්‍රයෝග අතරින් ඉත්තෑවාට උරුම වී ඇත්තේ කූරු විදිනයකි. නමුත් ඔහු තම ආදරය හා විශ්වාසය සමඟ ස්වකීය ආරක්ෂක උපකරණය හකුළා ගනී. එම දසුන අපට සෞන්දර්යය කැඳවන්නේ එම පක්ෂපාතීත්වය සමඟමය. සත්වයෙකු තම ජීව විද්‍යාත්මක ආරක්ෂක යාන්ත්‍රණය ස්වේච්ඡාවෙන් අත්හැර දමන්නේ අනෙකා කෙරෙහි ඇති අසීමිත 'විශ්වාසය' නිසාය. මෙතැනදී ආදරය යනු බිය අභිබවා යන මානසික තත්ත්වයකි. නමුත් මනුෂ්‍ය ජීවිතයේ වඩාත්ම සංකීර්ණ සහ අස්ථාවරම සාධකය වන්නේ ද 'විශ්වාසය'යි. එය එක් අතකින් ශක්තිමත් බැඳීමක් ගොඩනගන අතරම, අනෙක් අතින් අපව අතිශය අවදානම් සහගත තත්ත්වයකට පත් කරයි. මෙය අපව වඩාත් අවදානමකට පත් කරන්නේ විශ්වාසය මත අප අපගේ ආරක්ෂක ඉව අනෙකා අභිමුවේ පූර්ණ නිද්‍රාවට පත් කිරීම, සෞන්දර්යයක් ලෙස පමණක් දැකීමට හුරු වීමෙනි.

විශ්වාසයේ අන්ධභාවය සහ මනෝවිද්‍යාත්මක උගුල්

කුඩා ඉත්තෑවා සහ දැරියගේ දර් ශනය මෙන්ම, අපට යාබද රට වූ ඉන්දියාවෙන් ආදරය හා විශ්වාසය සම්බන්ධයෙන් මේ වකවානුවේ ඇසෙන්නේ ඉතාම අඳුරු පුවතකි. පූනේ හි ප්‍රකට ව්‍යාපාරිකයකු වූ කේතන් අග්‍රවාල්ට සිය පෙම්වතිය හා ඇගේ පෙම්වතකුගේ කුමන්ත්‍රණයක් නිසා ජීවිතය අහිමි වී තිබේ. මෙම සිදුවීම සම්බන්ධ ඉන්දියානු මාධ්‍යයේ වූ ඇතැම් වාර්තාවල සියා ගෝයල්ගේ ප්‍රකාශයක් වශයෙන් සඳහන්ව තිබූ, ‘ගෙදර අයට මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට වඩා කේතන්ව මරන එක පහසුයි’ යන වැකිය සරලව ගත හැක්කක් නොවේ. වර්තමානයේ ස්ත්‍රී සහ පුරුෂ බැඳීම් සමාජ තත්ත්වය, පවුලේ ගෞරවය, ආර්ථිකය වැනි බොහෝ සාධක සමඟ බැඳී පවතී. දරුවන්ගේ හැඟීම්වලට වඩා අනෙකුත් සාධක කෙරේ වැඩි බරක් තැබීම නිසා දරුවන් සහ දෙමාපියන් අතර ගොඩනැගී ඇති සන්නිවේදන පරතරය ද මෙයට එක්තරා හේතුවකි. සියා ගෝයල් විශ්වාස කළ නොහැකි කාන්තාවක බවට පත් වී ඇත්තේ දෙමාපියන් - දරුවන් අතර ඇති විශ්වාසනීය පදනම තුළ ඇති අත්‍යන්ත අර් බුදයක් නිසා විය හැකිය.

ඇය සිය ස්වාමියා වූ කේතන්ව ඝාතනය කිරීමට දරන පළමු වෑයම ව්‍යවර්ථ වේ. ඇය පළමු වරට ඔහුව බලකොටුවෙන් තල්ලු කළ විට ඔහු පඳුරක එල්ලී ඉන් ගැලවේ. නමුත් ඇය උපක්‍රමශීලීව ඔහුව බදා වැළඳ, සර්පයකු දැක බිය වූවා යැයි කියන විට ආදරය නිසාම කේතන් ඇයව විශ්වාස කරයි. මනෝවිද්‍යාවේදී මෙය 'විශ්වාසය දඩයම් කිරීම'  ලෙස හඳුන්වයි. කේතන් අග්‍රවාල් තම සහකාරිය වූ සියා කෙරෙහි තැබූ විශ්වාසය කොතරම් ප්‍රබලද යත්, ඇය ඔහුව ඝාතනය කිරීමට උත්සාහ කළ පළමු අවස්ථාවේදීම එය වටහා ගැනීමට තිබූ සහජ ඉව නිද්‍රාවට පත් කර, ඇය කෙරේ තිබූ ආදරය පමණක් සෞන්දර්යයක් සේ විඳිමින් දෙවන වතාවට ද මරණය කරා යන්නට ඇය කළ ආරාධනාව පිළිගෙන තිබුණි. මෙම සිදුවීම අපට උගන්වන මනෝවිද්‍යාත්මක පාඩම නම්, 'ප්‍රේමය නිසා හටගන්නා අන්ධභාවය' යන්නයි. තමා ආදරය කරන තැනැත්තා තමාට හානියක් කළ නොහැකි බවට ඇති දැඩි අභිප්‍රාය නිසා, මොළය විසින් වහාම එම තර්ජනය වසන් කිරීමට උත්සාහ කරයි. කේතන් අග්‍රවාල් සිදුවීමේදී, ඇයගේ ක්‍රියාවෙහි ඇති සැකය තාර්කිකව විමසනවා වෙනුවට, ඔහු ඇය ලබා දුන් බොරු පැහැදිලි කිරීම විශ්වාස කිරීම ඔහු මරණය කරා රැගෙන ගිය මාවත විය.

ආරක්ෂාව සහ විශ්වාසය අතර සමතුලිතතාවය

සමාජ මාධ්‍යයේ වෛරල් වූ වීඩියෝවේ අප දකින ටුටූ සහ දැරිය අතර ඇති බැඳීම විශ්වසනීය වන්නේ, එම බැඳීම ආර්ථික, සමාජ සහ සංස්කෘතික සාධකවලින් වියුක්තව පවතින බැවිනි. අව්‍යාජත්වය ආදරයේ සහ විශ්වාසයේ පදනම වේ. නමුත් මිනිස් සබඳතාවලදී, විශේෂයෙන්ම කේතන් සහ සියාගේ සිදුවීමේදී දකින්නේ, විශ්වාසය යනු මරණයේ මාවතට යා හැකි උපකරණයක් බවට පත්විය හැකි ආකාරයයි. ස්වභාවදහම අපට අවිශ්වාසයේ අවදානමෙන් මිදීමට අවශ්‍ය සහජ අවි ලබා දී ඇත්තේ අපව ආරක්ෂා කර ගැනීමටයි. ආදරය සහ විශ්වාසය තුළ, අන්ධභාවයට පත් නොවී යථාර්ථය දෙස බැලීමේ 'සවිඥානික බවක්' මිනිස් සබඳතාවලදී අනිවාර්යයෙන්ම තිබිය යුතුය. ආදරය යනු අනිත් තැනැත්තා වෙනුවෙන් සම්පූර්ණයෙන්ම නිරායුධ වීමම නොවේ. එය අනෙකාට ගරු කරන අතරම, තමාගේ පැවැත්ම පිළිබඳව ද අවධානයෙන් සිටීමයි. සතුරකු අභිමුඛව සක්‍රිය වන ටුටූ නම් ඉත්තෑවාගේ කූරු විදිනය දැරිය අභිමුඛව පිල් කළඹක් සේ නිසල වන්නේ අව්‍යාජත්වය සහ විශ්වාසය නිසාය. නමුත් මනුෂ්‍ය ලෝකයේදී, අව්‍යාජත්වය වෙනම ඒකකයක් ලෙස නොපවතී. මිනිස් බැඳීම් යනු තවත් සමාජ සාධක ගණනාවක එකතුවකි. එබැවින් කෙබඳු මට්ටමක ආදරයකදී වුව විශ්වාසය බිඳෙන තැනකදී ආරක්ෂා වීමට අපට ස්වභාවදහමෙන් ලැබුණු 'මනස' නම් වූ අවිය භාවිතා කිරීමට අප පසුබට නොවිය යුතුය.

මිනිසකුට තවත් මිනිසකු වටහා ගත නොහැකි ඇයි?

මිනිසා සහ මිනිසා අතර පරතරය වැඩි වීමට ප්‍රධාන හේතුව 'ප්‍රක්ෂේපණය'  නම් මනෝවිද්‍යාත්මක ක්‍රියාවලියයි. අපි අනෙකා දෙස බලන්නේ අපගේම සිතුවිලි, බිය සහ අත්දැකීම්වල ප්‍රත්‍යෙක ආවරණ පැළඳගෙනය. කේතන් අග්‍රවාල් සියා ගෝයාල්ව විශ්වාස කළේ ඇය තුළ පැවති අඳුරු චේතනාවන් ආදරය නිසා තමාට නොපෙනී ගිය බැවිනි. එය සන්නිවේදන අසමර්ථතාවයකි. සතුන් සන්නිවේදනය කරන්නේ ශරීර භාෂාව සහ සහජ බුද්ධියෙනි. එහෙත් මිනිසා වචන නම් සංකේත භාවිතා කරයි. වචනවලින් සත්‍ය හැඟීම් සැඟවීමට ඇති හැකියාව නිසා, සමීපතමයාගේ සැබෑ ආශය වටහා ගැනීමට අනෙකාට අසීරු වේ.

සතුන් ආදරය කරන්නේ අව්‍යාජවය. ඔවුන්ගේ භාෂාව ආදරය වන අතර, ව්‍යාජත්වය නඩත්තු කිරීමට ඔවුන්ගේ ලෝකයේ වචන නැත. මිනිසා ආදරය යන්න ක්‍රියාපදයක් සේ දැකීමම ගැටලුවක් වන අතර, එම ආදරය නමැති ක්‍රියා පදය තුළ 'තමා' යන අහංකාරය ඉවත් කර ගැනීමට ඔහු තවමත් පොහොසත් වී නැත. විශ්වාසය බිඳෙන තැනකදී, අප සතුව ඇති 'මනස' නම් වූ අවියෙන් සැබෑව සහ බොරුව වෙන් කර හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වන්නේ ඒ නිසාමය.

උපේක්ෂා න්‍රවන්ශ්‍රිනි 


 

Monday, June 29, 2026

අවසන් අගය ආදරයයි.

 

ඔබ නැතිව ඔබ එක්ක.

 


ආදරය කියන්නෙ හරි පුදුම දේකට.ඒක කවදා කොතනකදි කොහොම උපදිනවද කොහොම මැරෙනවද කියන්න කවුරුවත් දන්නෙ නැහැ. ආදරේදී මල මිනිස්සු ගණන් කරන එක හරිම අසීරු වැඩක්. ඇහිපිය හෙලවෙන ,පපුව ගැහෙන එවුන්ගෙන් බාගෙට බාගයක් මැරිලා. උන්ගෙ පපු කුහර ඇතුලට කන තියල බැලුවොත් ලබ් ඩබ් කියන හුරු පුරුදු සද්දෙ වෙනුවෙට සිහින් කෙදිරිල්ලක් එක්ක ක්‍රමික විලාපයක් ඇහෙන්න පටන් ගනීවි.ඒව ඇතුලෙ තියෙන්නෙ උන්ගෙ ඉතිහාසයත් එක්ක වර්තමානයෙ මිහිර විදින්න බැරි වීමේ කතාව. ඒත් උන්ගෙ ඇස්වලට එබිල බැලුවොත් හිනාව පිරිලා ඉතිරිලා ගිහිල්ලා. ඉතිං කොහොමද අපි මේ ලෝකෙ තේරුං ගන්නෙ. කැමූගෙ මහාමාරියෙ කිව්වා වගේ සංකල්පික රෝග ඉක්මනට වැලදෙනවා. ඒ වගේම ව්‍යාප්ත වෙනවා. ඒක බෝවෙලා බෝවෙලා මුලු ලෝකයක්ම එකපාර අඩපණ කරන්න වගේම මරලා දාන්නත් පුළුවන්. ඒක තනි පුද්ගල සංස්කෘතික ලෝකයක්ද එහෙමත් නැත්තං සාමුහික ප්‍රකෘතියක්ද කියන එක නං මටත් හොයා ගන්න බැරි වුණා.

සුහද කොකා’ කමිං සූන් කෑලි බල බල ඉන්න අස්සෙ නැන්දා කඩල වගයක් හපන්න පටං ගත්තා. ආයෙත් හින්දි නළුවෙක් හිටු කියලා ගහ ගන්න පටං අරං. කෙල්ලට දුවගන්ට බැහැ ටයිට් ගවුම හන්දා. දුවන ගමං සින්දුවකුත් කියන්ට තියෙන හන්දා ඒකි තවත් අසරණවෙලා. කොච්චර කෘෘර සමාජයක්ද?.. ඊ ගාවට ඔපෙල් එකෙයි හේමන්ත ටෙක්ස්ටයිල්ස් එකෙයි යට ඇදුම් රාක්ක වගයක සමීප රූප රාමු වගයක්. මොනාද හොද බ්‍රෑන්ඩ් එක. මං කල්පනා කලා. අමන්තේ හොදයි. ඒත් මිල වැඩියි. දැං ටිකක් විතර තෙහෙට්ටුයි. මං බාගෙට වකුටු වෙලා ඉදලා පුටුවෙ හරි බරි ගැහුනා.ටිකක් වෙලා ගියා.වෛවර්ණ තිරය නිලට හුරු චාම් කලු පාටකටත් ශබ්දයක් නැති සංකල්පනික අවර්ණ බවකටත් පෙරලුනා.බොහොම චාම් අකුරු වගයක් ශිල්ප හරඹයක් නැතිවම තිරයෙ ඇදිලා මැකිලා ගියා.එහා පුටුවෙ හිටපු නැන්දා හයියෙන් හුස්මක් පහලට ඇද්දා.

දැං උකස් බඩු කඩේක තරුණ මුදලාලි කෙනෙක් කූඩුවක් වගේ පේන එයාගෙ කාර්යාල කාමරේ ඇතුළට වෙලා බලන් ඉන්නවා. මට නං එයාව පේන්නෙ කවුරු හරි ගෙදෙට්ට එනකල් බුරන්න බලන් ඉන්න බල්ලෙක් ගානට.ඒ තරමටම එයාගෙ ජීවිතේ යාන්ත්‍රිකයි. යකඩ කූඩුව අස්සෙන් එක එක තාලෙ මිනිස්සු එබෙනවා.ඒ අයගෙ අත්වල තියෙනවා ජීවිතෙන් වෙන් කර ගත්තු ස්මරණ. ඒව රත්තරන්. කිරල බලල ලංසු තියල කීයක් හරි අතට දීල අනුන්ගෙ ජීවිතවල ස්මරණ එකතු කරන එක මිනිහගෙ රස්සාව. ඔහු හරි නිශ්ශබ්දයි. ඒත් ඔහුගෙ නිශ්ශබ්ද බව ඇතුලෙ තියෙන්නෙ පුදුමාකාර තිගැස්මක්.

මුවෙක් වගේ ඇස් දෙකක් තියෙන සැලෙන දෙතොලින් යුක්ත තරුණියක් උගස් බඩු කඩේ යකඩ කූඩුවෙන් එබෙනවා.ඇගේ ඇතේ තියෙනවා පුංචි කරාබු දෙකක්. ඊ ගාව දවසෙ මුකුර්තියක්. තවත් දවසක Nokia 1100 වර්ගයේ සෙල්ෆෝන් එකක්.

මං ගන්නෙ රත්තරං විතරයි. ඒත් මං ඔයාට සල්ලි දෙන්නම්. තියෙන වෙලවක දෙන්න.

ඇය සෙල්ෆෝන් එක අරං ආපහු හැරිලා යනවා. උකස් බඩු කඩේ පුවරුවට උඩිං තියෙන ජනේලෙ හයි ඈන්ගල් (High Angle) එකකින් පේනවා.සෙන්ට්‍රල් උකස් බඩු වෙලෙන්දෝ’ බෝඩ් එකට උඩින් පේන්නේ ශ්‍යාම් (ශ්‍යාම් ප්‍රනාන්දු) ගේ මුහුණ. ඔහුගෙ ජීවිතෙත් කොහේටද සින්න වෙන්න යනවා වගේ. ඈත පදිකය දිගේ දුවමින් යනවා අර මුවෙක් වගේ ඇස් තිබිච්ච මේ මොහොතෙ ශ්‍යාම් ළඟ සින්න කරන්න කිසිම දෙයක් නොතිබිච්ච තරුණිය. අපි ඇයට සෙල්වි කියමු.(අංජලී පාටලී). සෙල්වි ආපහු එන්නෙ පුංචි රත්තරං පෙන්ඩන් එකක් අරං. ඒකත් ඔහු ගාව සින්න වෙනවා. තමන්ගෙ ජීවිතේ සේරම සිහිවටන උකස් බඩු කාරයට සින්න කරපු සෙල්වි වේගෙන් වේගෙන් මිනිස් ගංගාව අස්සෙ මැකිලා යනවා.

උකස් බඩු කඩේ කෙරුවාවට පස්සෙ ඔහු කැමති රෙස්ලින් බලන්න. ඒත් මේ තඩි මිනිසුන්ගෙ ශාරීරික පොරය පරද්දන පොරයක් එක්ක ඔහු දුක් විදිනවා. ඔහුට ඒකෙන් මිදෙන්න ඕන වෙලාවට ඈත ජනේලෙත් එක්ක පේන නිල්පාට තේ කෑල්ල දිහා ඔහේ බලං ඉන්නවා.

මට ඔයාගෙ ඇස් වලින් තොල් වලින් පේන්නෙ ගින්දර..ඒ ශ්‍යාම් ගෙ පපුවෙ සද්දෙ.

ඔයාට එහෙම පේන එක පුදුමයක් නෙමෙයි. මගේ ඇතුලෙ තියෙන ගින්දර ඔයාට පේන්නෙ නැහැ.

ඒ නුහුරු සිංහලෙන් ගැහෙන සෙල්විගෙ පපුව. කන තියල බැලුවම හැම මිනිහෙක්ගෙම පපුවෙන් එන්නෙ එකම කුරු කුරු සද්දෙ වුණත් ආදරයේ භාෂාව මොන තරං වෙනස්ද?

සෙල්වි දුවගෙන දුවගෙන යන්නෙ කොහේටදවිස්තාරික දමිළ පවුලක් ලෑලි ගෙයකට කූඩු වෙලා. ඒ අය සෙල්විගෙ කවුද කියල මට නං හිතාගන්න බැහැ. නෑයෙක්වත් කිසිම සම්බන්ධයක්වත් මේ පවුලෙ අයට සෙල්වි එක්ක තිබුණද කියන එක මම දන්නෙ නැහැ.මට එහෙම එකක් පෙනුනෙ නැහැ. එයා උකස් බඩු කඩේට එයාගෙ ස්මරණ සියල්ල වරින් වර සින්න කරලා ගෙදර ඉන්න වැඩිහිටි කාන්තාවක් අතට ඒ සල්ලි ගිහිං දෙනවා. ඒ ගෑනි ඒක ගන්නෙ සෙල්වි දිහාවත් නොබලා.කට්ටිය රවුමට වටවෙලා බත් කමින් ටී.වී බලනවා.තමන්ගෙ කදුලු උකස් කරලා සල්ලි වලට හරවලා ගෙනත් දීපු සෙල්වි බිත්තියට හේත්තු වෙලා බලං ඉන්නවා.එයාගෙ පපුවෙ කුරු කුරුව නුහුරු සිංහලෙන් ඇහෙන්න ගන්නවා.

දවසින් දවස මම මගේ සිහිවටන උකස් කරනවා.

****
අන්තිම දවසෙ ජප මාලය (Rosary) ට වටිනා කමක් දෙන්න බැරිව ශ්‍යාම් සෙල්විට ණයක් දෙනවා.

උකස් බඩු කාරයෙක්ට හොදක් කර ගන්න දෙන්න.’ කොහොම හරි සෙල්වි ඒ ණය බාර අරන් නිශ්ශබ්දව පිටුපාලා යනවා.ජප මාලය (Rosary) ප්‍රතික්ෂේප වුණ හන්දද මන්දා සෙල්විගෙ ජීවිතේ සින්න කර ගන්න ශයාම් ට හිතෙනවා. එයා ඒ අහිංසක තරුණිය ගැන වැඩිදුර හොයල බලනවා. එයා තීරණේකට එන්නෙ මෙන්න මේ හැගීමත් එක්ක.

එයා අසරණයි.එයාට අනාගතයක් නැහැ කියලා මට හිතුණා.

ඇත්තටම මෙහෙම හැගීමක් එක්ක ආදරයක් පටන් ගත්තම කොයි තරම් ගැඹුරු ආදරයක වුණත් අධිපතිකම් ආක්‍රමණශීළීත්වයන් කොයි මොහොතක හරි ඇති වෙන්න පුළුවන්.අනෙක සෙල්වි ශ්‍යාම්ගෙ ජාතියට වෛර කළා. ඇයව නාකි මිනිහෙක්ට බන්දලා දෙන්න හදද්දි ශ්‍යාම් ඇයට කැමැත්ත දීලත් ඇය නිහඩව ඉන්නවා.ඒත් ඇයගෙ යටි හිත අවදි වෙන්නෙ මෙන්න මේ විදිහට.

මට ඔයාව දැනුනෙ මාව බේර ගන්න ආපු හීරෝ කෙනෙක් විදිහට.ඒත් මං ඔයාගෙ ජාතියට වෛර කළා. 

ඉතිං කොහොම හරි ශයාම් සෙල්විව බඳිනවා.එකපාර මැරෙනවට වඩා ටිකෙන් ටික මැරෙනවා වගේ විකල්පයකට සෙල්වි ආවෙ.එයා මේ මොහොත වෙනකල් ශ්‍යාම්ට ආදරේ කලේ නැහැ.ඒත් ආවස්ථික පිරිවැයක් තිබුණා විකල්ප දෙකක් අතරෙ.නාකියදසිංහලයදකියන එක.

කොහොම හරි මේ දෙන්නා කසාද පොතේ අත්සන් කරලා මංගල ජායාරූපයක් ගන්නවා.කොච්චර ලංවෙන්න හැදුවත් සෙල්වි හිටියේ ඔහුට දුරස් වෙලා. ලං වෙන්න කැමරා කාරයා කෑ ගැහුවා.ඇය මුවෙක් වගේ ගැහි ගැහී ලං වුනා.හිනා වෙන්න. ආයෙත් කැමරා කාරයා කෑ ගහනවා.ඇය අමාරුවෙන් හිනා වුණා.

සෙල්විගෙ අතේ බෑග් එකක්.ඒකෙ තියෙන්නෙ එයාගෙ ඇදුම්. ටොමාස් ගෙ ගෙදරට තෙරේසා ( පියාපතක් වන් ජීවිතයක්-කුන්දේරා) ආව පලවෙනි දවසෙ වගේ.සංස්කෘතික ගට්ටනයක් එක්ක මල්ල අතාරින්නෙ නැතිව සෙල්වි හිටගෙන ඉන්නවා. මේ ඔයාගෙ සේසතදශ්‍යාම් අහනවා.ඒ එක්කම ඔහු කියනවා මේ තමයි මගේ මාළිගාව කියලා.ඔවුන් දෙන්නගෙ ශාරීරික එක්වීමෙ දර්ශනයෙදි මට හිතෙනවා සෙල්වි තව දුරටත් කරන්නෙ දරා ගැනීමක් කියලා.ඇය තෝරා ගත්ත විකල්පය වෙනුවෙන් දරාගන්නවා.පහුවෙනිද උදේම නාන්නෙ ඒ සේරම සෝදලා දාන්න.ඒත් එයින් පස්සෙ කෑම මේසයෙ දර්ශනයෙදි පේන්න ගන්නවා මැරිල හිටපු සෙල්වි ආපහු ඉපදිලා කියලා. එදා ඉදන් තමයි ඇය ඔහුට ආදරය කරන්නෙ.

ආදරයෙන් බැඳිලා ගැහැණියක් අවනත වෙන්න වෙන්න ඕනෙම සාමාන්‍ය පිරිමියෙක් කරනවා වගේම ශ්‍යාම් ටිකක් විතර අධිපති වාදී වෙනවා.

දවසකට වියදම් කරන්න පුළුවන් රුපියල් 300යි.අපිට එතකොට පුළුවන් අර ඈත තියෙන තේ කෑල්ල ගන්න.

ඔහු ජනේලයෙන් එහා තේ යාය ඇයට පෙන්වනවා. ඒ විතරක් නෙමෙයි උකස් කඩේට ආව දමිළ කාන්තාවකට අනුකම්පා කල වරදට නින්දෙන් නැගිට්ටලා පොඩ්ඩක් විතර සැරත් කරනවා. පිරිමි කැමතියි ගැඹුරින් ආදරය කරලා අසරණ කමට චුට්ටක් විතර කොනිත්තන්න. ඒක ලෝබ කම නෙමෙයි. ආදරේ එක ස්වරූපයක්.

මේ අතර වාරයෙ ශ්‍යාම්ගෙ පරණ යාලුවෙක් ශ්‍යාම්ව හොයා ගෙන එනවා. එතනදි සෙල්වි දැන ගන්නවා ශ්‍යාම් හමුදාවෙ හිටපු කෙනෙක් බව. ඇයගෙ නිහඩ අතීතය අපට නිරාවරනය නොවුනත් මුවෙක් වගේ ඇය ආපහු ගැහෙන්න ගන්නවා.ඇයට එතැන තවත් රදන්න බැරිව නිහඩව ආපහු යනවා බස් හෝල්ට් එකට. ශ්‍යාම් ඉවෙන් වගේ එතනට යනවා. ඒත් සෙල්වි බයික් එකට නගින්නෙ වෙනද වගේ ඔහුව බදාගෙන නෙමෙයි. පැත්තට හැරිලා වාඩි වෙලා.ඒ වෙලාවෙ ශ්‍යාම්ගෙ යටි හිත මෙන්න මේ විදිහට කෙදිරි ගානවා.

ඔයා ආපහු ඇවිල්ල වාඩි වුණාම මං හිතුව ඔයා සේරම අමතක කරල මාත් එක්ක ආවයි කියල.ඒත් මං ඔයාගෙ දැකල තියෙන්නෙ මං දකින්න කැමති දේවල් විතරයි.

මං දෙමළ.මට ඔයාලව දැනෙන්නෙ වෙනම විදිහකට..ඔයාලා අපේ අයගෙ රත්තරං බඩු මංකොල්ල කාපුවා....

බැල්ලි...කට වහ ගනින්..මං නැත්තං උඹට ඔහොම කතා කරන්න වෙන්නෙ නැහැ.

මෙන්න මේ දෙබස ගැන කවුද ලියලත් තිබුණ ප්‍රසන්නගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ මෙහෙම ඒවා කියලා. මගේ පුද්ගලික මතය පුද්ගලයෙක්ගෙ හැසිරීම ගැන පූර්ව සැලසුමක් කවදාවත් ගන්න බැහැ.නාකි හු.... දත් දාල කොන්ඩෙ ඩයි කරල කැන්දං ආවට පස්සෙ.... එහා ගෙදර රන්ඩුවකදි මට ඇත්තටම එහෙම ඇහිල තියෙනව.ඒත් පහුවෙනිද එයාල එක්කාසු වෙලා පන්සල් යනවා.වැළද ගන්නවා.හිනාවෙනවා.ඒක තමයි ජීවිතේ කියන්නෙ.ඉතින් ජීවිතේ ගැන කතා කරන චිත්‍රපටයක වුණත් නිශ්චිත රාමුවක් හෝ අවසානයක් හොයන එක තේරුමක් නැති වැඩක්. මනුස්ස ජීවිතේ ඕනම දෙයක් ඕනම විදිහකට සිද්ධ වෙන්න පුළුවන්..

සෙල්විට අයෙමත් තමන්ගෙ අතීතයෙන් ගැලවෙන්න බැරි වෙනවා. ඇය දූෂනය කියන වචනයට හරි බයයි. මුල් දවසෙ ශ්‍යාම් එක්ක හිටියෙත් මුවෙක් වගේ ගැහි ගැහී. වේදනාව දරාගෙන. ඇය අපට තවමත් නොකියපු කතාවක් තිබුණා.හැමෝම ගාව ඒ වගේ දරා ගැනීම් නොකීව කතන්දර අනන්ත තියෙනවා.සෙල්විත් ශ්‍යාම්ට කිව්වෙ භාගයයි. ඒ හමුදාවෙන් එයාව බේර ගන්න ගිය මල්ලිලාට වෙච්චි දේ විතරයි. ඒත් මට හිතුනා එයා එයාට වෙච්ච දේවල් අපට හැංගුවද කියලා.එදා ඉදන් ශ්‍යාම් ළගට ආවත් සෙල්වි ගැස්සෙනවා.එයා මුවෙක් වගේ බයයි.උණෙන් ගැහෙන්න ගන්නවා.කවද හරි ශයාම් ගන්න හිතං හිටපු තේ කෑල්ල දිහා බලං සිංදු කියනවා.හිමි වූනාට පස්සෙ අධිපතිත්වයක් පෙන්නුවත් අහිමිවීම පේන්න පේන්න ශ්‍යාම් ආපහු මුලට එනවා.උකස් කඩේට ආපු දෙමළ කාන්තාවගෙ තැල්ල බාර නොගෙනම ඇයට ලෝන් එකක් දෙනවා.දෙවියන්ට පින් දිදී යන ඒ කාන්තාව දිහා ඔහු බලං ඉන්නවා..මං සෙල්විට හෙට ඇත්තම කියනවා...

***

හමුදාවෙ ඉදපු අපේ යාලුවො තුන්දෙනෙක් දෙමළ කෙල්ලෙක් දූෂණය කරනවා.අන්තිමේ ඒකි මැරෙනවා.ඒකට සම්බන්ධ එක යාළුවෙක් තමයි ගාමිණී.මං එයාව බේර ගන්න උසාවියෙදි බොරු සාක්කි කිව්වා.එයා මාත් එක්ක ඩියුටි හිටියා කියල.ඕක තමයි වෙන රහසක් නැහැ.මං හමුදාවෙන් අස් වුනේ ඒකයි.මට ඕනෙ අලුත් ජීවිතයක් ගොඩ නගා ගන්න.ඒකට ඇයිමට ඉඩ දෙන්නෙ නැත්තෙ...

ප්‍රතිමාවක් වගේ නිහඩ ප්‍රතාපවත් ඒත් දෝංකාර දෙන පෙනුමක් තියෙන ශ්‍යාම් ගෙ ඇස් දෙකේ ලොකු කදුලු ගුලි දෙකක්.සෙල්වි යටි උගුරෙන් කෑ ගහනවා. එයාව දරදඩු වෙනවා.ඒත් එයා උත්සහ කරනවා නැවත අතීතයෙන් මිදෙන්න.

මං ඔයාට රිද්දුවා..ඒ සෙල්වි.

නෑ... මමයි ඔයාට රිද්දුවේ..’ ඒ ශ්‍යාම්..

මේක හරියට වැස්සකට තෙමුණ මිනිහෙක් ඒකට හේතු හොයනවා වගේ දෙයක්.මම කුඩේ ගෙනිච්චෙ නැහැ.’ කෙනෙක් කියන්න පුළුවන්. නැහැ..ඔයයි වැරදි.ඔයා පරක්කු වුනා..’ ඒ අනෙක් කෙනාගෙ මතය. කවුරුවත් වැස්සට දොස් කියන්නෙ නැහැ.ඒ පාලනය කරන්න බැරි සමහර සංසිද්ධි වලට දොස් කියලා පලක් නැති නිසා. එතකොට කරන්නෙ අපි අපිටම රිද්ද ගන්න එක.

මට සමාව දෙනව නං මං ඔයාට හොද වයිෆ් කෙනෙක් වෙන්නං...අන්තිමට සෙල්වි කියනවා.තමුන් තෝර ගත්ත විකල්පය ඇතුලෙ පවතින්න ඇය තාමත් උත්සහ කරනවා.ඇය ජීවිතේ මිට මොලව ගන්න මිට මොලව ගන්න ඒක ඇගෙන් ගිලිහිලා යනවා.

ශ්‍යාම් අන්තිමටඋකස් බඩු කඩේ විකුනනවා.එයාට දැන් ඕන සෙල්වි එක්ක ඉන්දියාවට යන්න.සෙල්විගෙ අම්ම තාත්තව හොයල දෙන්න.ඒත් ඒ අය හොයල පලක් නැති වග සෙල්වි දන්නවා. එයා නිසලව ඉන්නවා.ශ්‍යාම්ම් යනවා එයාර් ටිකට් අරං එන්න.

ආපහු අර හයි ඈන්ගල් එක.සෙනට්‍රල් උකස් කරුවෝ’ බෝඩ් එකට උඩින් ජනේලෙ මැද්දෙ නිල් පාට සල්වාරියක් ඇදගනිපු සෙල්වි.එයා ටික ටික ජනෙල් පඩිය උඩට නගිනවා.දැන් එයා හරි ලස්සනයි.සුරංගනාවියක් වගේ ජනේලෙ මැද්දෙ හිට ගනිපු එයා එක පාරටම එතනින් පල්ලට පියාඹනවා.ශ්‍යාම් උඩින් පියාඹන්න ටිකට් අරන් එන කොට සෙල්වි පහළට පියාඹලා ඉවරයි.

මං ඔයාගෙ හීන ගැන ඇහුවෙ නැහැ කවදාවත්.මට මගෙ හින වලට ඒව හරස් වෙයි කියලා හිතුවා.’ ඒ ශ්‍යාම් ගෙ දෝංකාරෙ.

මට බාගෙට ආදරය කරන්න බැහැ.මට ඒනෙ වුනේ ඔයාට හදවතින්ම ආදරය කරන්න.ඒ සෙල්වි.

ශ්‍යාම් ප්‍රනාන්දු ගෙ රංගනය මම දුටුවෙ පුදුමාකාර දෙයක් විදිහට.තිරයට ආගන්තුක මුහුණක් වුණත් ඔහුගෙ අභිනය හරි දැවැන්ත විදිහට ආත්මයට කා වදිනවා. කලාතුරකින් ඇහෙන ඔහුගෙ ප්‍රතාපවත් කට හඩත් එහෙමයි.අංජලීගෙ නම් මුහුණෙ ඉරියව් ඇතුළෙ සියල්ලම ලියවිලා තිබුණා.අලුතින් කියන්න දෙයක් ඇයට ඉතිරිවෙලා තිබුණේ නැහැ.ඒ මුහුණ හරියට පින්තූර පිරිච්ච කතන්තර පොතක් වගෙයි. පිටුවෙන් පිටුව පෙරලෙද්දි පින්තූරෙ පාට හැඩය වෙනස් වෙනවා. ප්‍රසන්න ඒ මුහුණු දෙකේ කදුලු දොවලා එක එක තැන් වල තියලා අපෙන් අහනවා කදුලු වල පාට මොකක්ද කියලා. රතු පාට පසු බිමක තිබ්බම මට ඒ කදුලු කැට දෙක පේන්නෙ ලේම ලේ පාටට.නිල් පාට පසු බිමකදි නිල්ම නිල් පාටට.පසු බිමක් නැති තැනකදි අවර්ණව.ඉතිං මං අසරණ වෙනවා.ඇත්තටම ලං කර ගන්න මිනිස්සුන්ට වඩා අපිට ආදරය කරන්නෙ හැර ගිය මිනිස්සු.ඒ අය එක එක විදිහටඅපිව හැර යනවා.සෙල්වි පාතට පියෑඹුවා.තවත් සමහරු වෛරක්කාරයො විදිහට පෙනී ඉන්නවා.තවත් අය වෙන විකල්ප තෝරන් හිනා වෙලා වගේ ඉන්නවා. ඒත් අත්පත් කර ගැනීමට එහා දෙයක් අත් හැරීම තුළ ඉතිරි වෙනවා.

මං ඇමිටි එකෙන් එළියට බැහැලා නැන්දගෙ අතින් අල්ලං පාර මාරු වෙනවා. හිතේ මොකක්දෝ ලොකු බරක් ඉතිරි වෙලා.මං හෙමීට ආපහු ඔලුව උස්සලා පාරෙං එහා පැත්ත බලනවා.මට පේනවා ඇමිටියේ උඩ තට්ටුවෙ එල්ලපු ලොකු කටවුට් එක. සෙල්විගෙ ඇස් වල කදුලු බින්දුවට යටින් ශ්‍යාම් හරි ලස්සනට හිනාවෙනවා. මං ගමන නතර කරල එයාල දිහා බලන් ඉන්නවා.ඒ දෙන්නට පාතින් අවසන් අගය ආදරයයි’ කයල ලියවෙච්චි පුංචි රතුපාට අකුරු වැලක් ලොකු කදුලු පේලියක් එක්ක දිලිසෙනවා.

උපේක්ෂා නුවන්ශ්‍රීනි

 

අන්තර්ජාතික සිනමා උළෙල එකළු කළ අරුන්දතී පහන් තරුව - රැය තවම තරුණයි - The Night is Still Young

 


ස්වරූපය - වෘතාන්ත 
අධ්‍යක්ෂණය - ඉන්දික උඩුගම්පොළ
ධාවන කාලය - විනාඩි 82

රැය තවම තරුණයි - The Night is Still Young

 

 


 

ඔන්න එකමත් එක රටක හිටියා හරිම ලස්සන ඒ වගේම පුදුමාකාර මිහිරි කටහඩක් තියෙන කුමාරිකාවක්. ඒ කුමාරිකාවගෙ හිස කෙස් තඹම තඹ පාටයි.ඒ වගේම එයාගෙ කම්මුල් රෝස පාටයි. ඇස් දෙක නිල්පාටයි.කදුලු පිරිච්ච හන්දා ඒ ඇස් හැන්දෑවට වීදුරු වගේ දිලිසෙනවා. හරියටම එයා බෝනික්කෙක් වගෙයි. ඒත් එයාගෙ නිල්පාට නලියන ඇස්වල තිබුණා මොකක්දෝ නොකියන කතන්දරයක්. අවාසනාවකට අපිට ඒක කියවන්න සිද්ධ වෙන්නෙ අපිට ඕන විදිහට...හැම සුරංගනා කතාවකම වගේ මේ කුමාරිටත් කුමාරයෙක් ඉන්න ඇති. ඒත් කුමාරයයි කුමාරියයි අතරට යම් කාලෙකදි ශාපයක් එන එක ඉතිං සුරංගනා කතන්දරවල නියතියක්නේ.ඉතිං පැහැදිලිව හොයා ගන්න බැරි පළමු කතන්දරය අවසානයේ මේ ලස්සනම ලස්සන කුමාරිකාව අතරමං වෙනවා.ඇය ඉන්නේ බිදුණු සිතකින් සහ වැටුණු මනසකින්.ඒත් ඇයට නොබිඳුණු සිහිනයක් තියෙනවා. ඒ තමයි ශාස්ත්‍රීය ගායන ශිල්පිණියක් වීම.

ඔන්න ඉතිං පළවෙනි ශාපයෙන් මිදෙන්න උත්සහ ගනිමින් ඉන්න කාලෙදි එයාට මුණ ගැහෙනවා අමුත්තියක්.එයා වෘතියෙන් මස් වෙළෙන්දියක්. ඇයත් කලක පටන් ශාපයක් නිසා නිහඩ වෙලා.ඇගේ හදවත ගැහෙන එක නතර වෙලා.ගල්වෙලා. එයා දැනට දන්නෙ‍ෙ මරපු ඌරො පෙති කරන්න විතරයි. ඒත් ඇගේ හදවතේ මැරිච්ච පැත්තක හැංගිච්ච සෞන්දර්යයක් තියෙනබව දැනෙනවා .ඒක අවදි කරන්න පුලුවන් වෙන්නෙ කුමාරිකාවකගෙ ආදරය ලැබුණොත් විතරයි.ඉතිං අහම්බෙන් හම්බවෙලා..කාලයක් ගිහිං..මේ දෙන්නට දෙන්නා කතාකරන්න ගන්නවා.මුලින්ම ඇස් වලින්..ඊට පස්සෙ හදවතින්..ඊටත් පස්සෙ වචන වලින්..මට වෙලාවකට හිතෙනවා බැදීමක් අස්සට වචන ආවම ඒ බැදීම කුඩු පට්ටම් වෙනවද කියලා.මොකද වචන කියන දේවල් ගොඩක් වෙලාවට අනිර්වචනීයයි.කාලයට වගෙම අවස්ථාවට අනුවත් වචන සාපේක්ෂයි.ඒ වගේම තමයි වෙනස් වුණොත් ප්‍රතිඵලය භයානකයි.

කිසි වග විභාගයක් නැතිව වටේ යන හුළග ගැන නිශ්චිත මානයක් හොයන හුළං පෙත්තකට මුහුණ ලා මේ දෙන්න මේ දෙන්නගෙ ජීවිතේ බෙදාගන්නවා.අවසානයේ මේ සුරංගනාවිය නාකි ගෙම්බියට බැඳෙනවා.ඇය හිතනවා කතන්දරවල වුණා වගේ මේ ගෙම්බියත් කාලෙකදි කුමාරයෙක්වෙයි කියලා. .අපි අපේ ජීවිතේ බෙදා ගමු..කුමාරිය දිවුරන්නෙ ඒ බලාපොරොත්තුව ඇතිව...

එපා...නවත්තන්න..මේක බැල්කනිය

ඒත් මේ රාත්‍රිය..

නාකි ගෙම්බියගෙ ආත්මයෙ වකුටු වෙලා හිටපු ගෝනුස්සා රාත්‍රිෙයදි අවදිවෙලා කුමාරිකාවගෙ පිටේ වහනවා.ඊට පස්සෙ ඇගේ ආත්මය කෙමෙන් ආක්‍රමණය කරමින් හෙමින් වෙලාගෙන දෂ්ඨ කරනවා.ඒත් විස දළ වලින් රස නහර පිනවගන්න කුමාරිකාව උත්සහ කරනවා..දැන් මස් වෙළන්දියටත් ඒ නමින් අමත්නන බැහැ.මොකද ඇයත් දැං කුමාරිකාවක් වෙලා.සතුට..ආදරය ...ආරක්ෂාව ..මේ හැම එකක්ම.. ..ඒත් මහළු ගෙම්බිය කැමති නැහැ කවදාවත්ම කතන්දරයට පිටින් කුමාරයෙක් වෙන්න..මායාකාර ශාපය ඇතුළෙ කුමාරිකාව හිරකරගෙන ඇගේ සුන්දරකම හැමදාමත් විදින්න එයා හරි කැමතියි.ලස්සන කුමාරියගෙ ශාස්ත්‍රීය ගායනයට දැන් තව හඩක් එකතු වෙලා.ඒ හඩ මට දැනෙන්නෙ දෙව්ලොව ඉන්න දෙවියන්ටත් පොළොව යට ඉන්න මළවුන්ටත් එකවර කරන ආරාධනයක් වගෙයි.ඒතරමටම ඒක කවදාකවත් කාටවත්ම තේරුං ගන්න බැරි ලාලිත්‍යමය විලාපයක්. ඒක හරි බිහිසුණුයි. ඒ වගේම මිහිරියි.

අද්භූත පෙනුමක් තිබුණු මහළු ගෙම්බියගෙ මාළිගාවෙ පිටුපස පැත්තෙ පිහිටපු හුළං පෙත්ත හරියට සොහොනක ශ්වේත ස්මාරකයක් වගෙයි. වටේ යන හුළග ගැන ගතු කියන එක මොන තරම් නං අමාරුද.නිහඩව බලා ඉන්න කෙනෙක්ට ඒක කරන්න පුළුවන් කියල නිකමටවත් හිතුණදහුළං පෙත්ත හමන්න දන්නෙ නැහැ.එයා දන්නෙ හැම දෙයක් දිහාම නිසොල්මනේ බලා ඉන්න විතරයි..නිහඩ වෙල් යායෙ දගලන පැලෑටි.ඒ මායිමේ රේඛීය පාරක බයිසිකල් පදින සුරංගනාවො දෙන්නෙක්.මේ දෙන්නා ගයමින් යනවා වසන්තයේත් ගිම්හානයේත් ගීතය.ඒ ගීතයට නිහඩ මාවත් වල නිදා සිටින තණ කොළ පවා අවදි වෙනවා.හුළග ඒ වටා පිනුම් ගහද්දි හුළං පෙත්ත පවා සැලෙනවා.පොළව යටආකාසෙ මුදුනෙ,ඉන්න ජීවී අජීවී හැම කෙනෙක්ම ඒ ගායනයෙන් කැළඹිලා. යක්ෂයාගේ හදවතටත් දෙවියන්ගේ ආත්මයටත් එකවර අමතමින් ඔවුන් නිදහසේ පියාඹනවා.

ඔන්න ඔහොම කාලයක් ගත වෙනවා.. කාලයක් ගියහම ඔවුනගෙ නිදහස් ගමනට එක්තරා බාධාවක් එනවා.ඔවුන්ව ලුහුබදින්න ගන්නවා එක්තරා මිනිහෙක්.එයා නමින් ඇන්ටනී.කුණු ලොරියෙ වැඩ කළේ. එයා අර ලස්සනම ලස්සන කුමාරිකාවට ආදරය කරනවා.ඒ ආදරයෙන් කුමාරිකාව මහළු ගෙම්බියගේ ශාපයෙන් නිදහස් වෙලා කෙමෙන් සුවපත් වෙනවා.ඇයට මුල් ශාපයෙන් අත් මිදුණට පස්සෙ තාව කාලික වේදනා නාශකය වුණේ මහළු ගෙම්බිය.ගෙම්බො තුවාල වලට බැන්දම තුවාල සනීප වෙනවා තමයි.ඒත් වෙළුම ලිහුවට පස්සෙ ගෙම්බො ජීවත් වෙලා ලෙඩා මැරෙනවනං ඒ වෙද කමෙන් වැඩක් තියෙනවද කියලා කුමාරියට හිතෙන්න ගන්නවා. ඇයට ආපහු ඕන කුමාරයයි කුමාරියයි ආකෘතිය.පුංචි ලස්සන මාළිගාවක් හදන්න.සතුටින් රජ කම් කරන්න.ඇය ගයන ගීයට දැන් පිරිමි හඩකුත් එකතු වෙලා.අැය හිතනවා යුග ගායනයක් සම්පූර්ණ වෙන්නනං අනිවාර්යෙන් පිරිමියෙක් එක්ක මුහුවෙන්න ඕන කියලා..

මේ සිනමාපටය මම දකින්නෙ සංගීතය උත්තම වූ නිර්මාණයක් විදිහටයි.මනුෂ්‍ය ආත්මයේ නිරන්තරව වෙනස් වන සිතිවිලිචපල භාවයන්,බිහිසුණු බව,ඊර්ෂ්‍යාව,බොළඳ බව සහ සුන්දරත්වය ආදී සියල්ලම සංගීතය සහ ගායනා තුළින් ප්‍රකාශ වෙනවා..නදීක ගුරුගේ වසන්තයේ දූතයාවත් ගිම්හානයේ මාරයාවත් එක ළග තියලා මෙයින් කවුරු තෝරගන්නවද කියල අහනවා.ඒත් මාරයාගේ රිද්මයත්වසන්තයේ දූතයාත් යන දෙන්නගෙම මූලික ස්වරූපය සුරංගනා කතන්දරවලදි එක වගෙයි.ඒ හන්දා අපි කවුරුත් පාර වරද්ද ගන්නවා.දිව්‍ය ලෝකෙ යන්න උවමනාව තියෙන අය අපායටත් අපායට යන්න සුදුසු අය දිව්‍ය ලෝකයටත් වැටෙන්නෙ ඔන්න ඔය පැටලැවිලි සහගත බව නිසයි.

චන්න දේශප්‍රියගේ කැමරාව නිහඩ භාෂාවක් වූ නමුත් නිතර පෙන්වන හුළං පෙත්ත පාර සහ වෙල්යායඊට ඉහළ අහසේ වළාකුළු ඇතුළත් දර්ශනය එක දවසක හෝ දෙකකදී රූප ගත කර පුනරුක්තියෙන් යොදා ගැනීම නිසා කාලය සහ සෘතූන් අනුව ස්වභාදහම විකාශනය නොවීමේ ගැටලුව මතු වූ නමුත් සංගීතය හා බැදුණු භාෂාවක් කැමරාවෙන් ගොඩ නැගීමේ විශිෂ්ඨත්වය ඔහු විසින් තව දුරටත් රැක ගන්නවා.. ෆයිලේෂ්මාක් චාන් ගේ සංස්කරණය ඉතා සියුම් සැතක් වගෙයි.අනවශ්‍යය එකදු රූපරාමුවක් මා දුටුවේ නැහැ.අනපේක්ෂිත අර්බුධ සහ අභිරහස් ජීවිත හමුවේ නිහඩභාවය රකින මන්දගාමී රූපරාමුඒත් කාලය හා අවකාශය අතර සිදුවීම් වේගයෙන් ගලා යාමලයාන්විත බව හා මනුෂ්‍යත්වයේ සියුම් රිද්මය ආරක්ෂා කර ගැනීම කියන කාරණය අතින් සංසකරණ ශිල්පියා ඉතාමත්ම ඉහළ තැනක ඉන්නවා.ඒ වගේම බිහිසුණු සහ අභිරහස් බව ආදරය යයි වටහා ගත් ආත්ම වංචනය මිය ගිය අවිහංසකත්වය හා දරා ගත නොහැකි අසරණ බව කියන සංකූලනයන් ඉතාමත්ම සියුම් ලෙස ඉදිරිපත් කරන්නට පැස්කලින් බෙල්ග්‍රාඩ් සමත් වෙනවා. ඇනා ලෙමොනාකි ඇයට ලබා දෙන සහය අති විශිෂ්ඨයි.මරණය කැඳවන වේදනා නාශක අසාත්මිකව විඳවන සැහැල්ලුවටත් සංකීර්ණත්වයටත් අතරමැදි ඇගේ රංගනය සැබිවින්ම සුවිශේෂීයි.ඒත් මේ දෙදෙනාගේ රංගනයේ සමමමිතික බව ඇන්ටනී ගේ චරිතය රගපෑ ලාංකීය තරුණයා අතින් බිදී ගිය බවකුයි මට දැනී ගියේ.ප්‍රංශ තිරනාටකයකඊට අදාළ සියළු අමුද්‍රව්‍ය සහ රිද්මය විදෙස් ඌරුවකට සකසා සිංහල තරුණයකු ඊට යොදා ගත් විට සිනමා පටයේ පෙර පැවති රිද්මය බිදී ගිය බවක් දැනුනත් එය වින්දනයට විශාල හානියක් සිදු නොකළ බවත් කිව යුතුයි.ඉන්දික සිය නිර්මාණය තුළ උචිත දේ උචිත පරිදි හැසිරවීම මනා ලෙස සිදු කර තිබුණා.ප්‍රබල තිර නාටකය විසින් ඉතිරි කළ ඉතාම ප්‍රබල දෙබස් මගින් ආත්මයේ නිද්‍රාගත සැහැසි බව පිළිබද යළි හැරී බලන්නට සිදු කළේ සියුම් පෙළඹවීමක්.විශ්මිත අධ්‍යක්ෂණය මගින් සිනමා උළෙලම ඒකාලෝක කළ පහන් තරුවක් වූ මේ සිනමා පටයට නිසි අගැයීමක් නොළැබුණු බව මගේ හැගීමයි.

ආ ...දැන් නවත්තපු තැනින් ආයෙම කතාව පටන් ගමු.දැන් ඔන්න මහළු ගෙම්බිය කුමාරිය ගැන සැක හිතන්න පටන් අරන්. එයාලා වාසය කරපු අද්භූත මාළිගාව නිහඩ වෙලා.දැන් ඒ මාළිගාවෙන් වෙනදා වගේ ලස්සන සිංදු ඇහෙන්නෙ නැහැ.ප්‍රීතියේ ස්වරය සදාකාලිකවම නිහඩ වෙලා. සොහොන් අවතාරයක් වගේ හුළං පෙත්ත විතරක් පුරුදු විදිහට නිසොල්මනේ හැම දෙයක් දිහාම බලා ඉන්නවා.

ඔන්න ඉතිං ඔහොම කාලයක් ගත වෙනවා.එකෝමත් එක දවසක ගෙම්බියිකුමාරියිකුමාරයයි එකට එක තැන මුණගැහෙනවා.දෙන්නම කියනවා කුමාරිව මැදි කරගෙන මෙන්න මෙහෙම.ඔයාට ඕන කෙනෙක් තෝර ගන්න..දැන් කුමාරි හොදටෝම අසරණ වෙලා.එයා වටපිට බලනවා.එයා හොදටෝම දන්නවා මහළු ගෙම්බියට බැහැ කවදාවත් තනියම පවතින්න.ඇය දැනන් හිටියෙ මිනී කපන්න විතරයි.කාලෙන් කාලෙට ඇගේ ජීවිත ශාපය කුමාරියො ඇවිත්බේරගත්තා.ඒත් කුමාරියෙක්ගෙ කතන්දරය සම්පූර්ණ වෙන්න කුමාරයෙක් ඕන. දැන් මේ තුන්දෙනා තෝරා ගැනීම පිළිබද සටනක.ඒ නිසා දැනට නවතිමු. කොහොමත් අද එළිවෙන්න පරක්කුවෙයි.මොකද රැය තවම තරුණයි.

 

උපේක්ෂා නුවන්ශ්‍රීනි

ආත්මීයව බෙලහීන ජනතාවක් මධ්‍යයේ සෘජු වූ සංවර්ධනයේ පුරුෂ ලිංගය “නෙළුම් කූළුණ”


Directed by  Ilango Ram

Written by Ilango Ram

Produced by Hiranya Perera

Starring  Kaushalya Fernando

 Priyantha Sirikumara

 Thusitha Laknath

 Ranjith Panagoda

Cinematography  Ilango Ram

Edited by  Aathan  Sivananthar

Music by  Leon James

Production Silent Frames


 හාස්‍යය යනුවෙන් ලාංකේය සිනමාව තුළ බහුවිධව  ගොඩනැගෙන්නේ දුවන විට ලිස්සා වැටීම, ගගක් අයිනේ සිටින අයකු වතුරට ඇද වැටීම වැනි මිනිසාට වන වැරදීම්, මගහැරිම් සහ අකරතැබ්බයන්ය.  එසේත් නැත හොත්  ගොත ගැසීම , නොණ්ඩි ගැසීම වැනි ශරර දුර්වලතා හෝ  සංක්‍රාන්තික ලිංගිකයන්ය. මේ බොහෝ තැන් සිනාසිය යුතු තැන් නොවන  සහකම්පනය පමණක් උපදවා ගත යුතු අවස්ථා වේ. නමුත් ඇතැම්…

ශිෂ්ටත්වයේ මාවත ඔස්සේ අශිෂ්ටත්වයට

 


බහුචිතවාදියා 

Director: Malaka Dewapriya

Cinematography: Chinthaka Somakeerthi

Music composed by: Chitral Somapala

Lakshman Mendis

Kalana Gunasekara

Samanalee Fonseka

D.B Ganfodathenna

Damitha Abeyrathne

Veena Jayakody

Sulochana Vithanarachchi

Geetha Alahakoon


..........................................................................................................................................

සංවර්ධනය යනු සංස්කෘතික ශිෂ්ඨත්වයේ ධනාත්මක ලකුණක් වුවද අනෙක් අතට බලන විට එය  ම්ලේචත්වය කරා   ප්‍රවේශ වීමට ඉතා  පහසු මාර්ගයක් ලෙස ද හැඳීන්විය හැකිය. තාක්ෂණික ලෝකය තුළ  වේගයෙන් සංසරණය වන තොරතුරු, දැනුම සහ ක්ෂණික මානව සම්බන්ධතා ජීවිතය පහසු කරන ලිහිසි කාරකයක් වශයෙන් දැනුනද එය තුළ ඇති අශිෂ්ඨත්වය හෙළිදරව් වූ විට පැරණි මිත්‍යා කතාවල මෙන් …

සම්භාව්‍ය චිත්‍රපටයක් ගෙදරදීම හදා ගන්නා ආකාරය

 


............................................................

Ingredients

..............................................................

වෙනස් ආකෘතිය ක බටහිර චිත්‍රපටයක්

කාමරයක්

ටැප් එකක්

එලවලු කපන පිහියක්

පූසෙන්

බල්ලෙක්

ඔම්ලට් එකක් සකසා ගත හැකි පෑන් එකක්

බිත්තරයක්

වම්බටු ගෙඩියක්

ප්‍රසිද්ධියේ ඇඳුම් මාරු කරන්න කැමති නිලියක්

අත වනපු ගමං ගෙන්න ගන්න පුලාං නලුවෙක්

හොඳ තත්වයේ පෑන්ටියක්, බ්‍රෙෂියරයක්

බාත් ටවල් එකක්

ඈෂ් හෝල්ඩරයක්

සිගරට් එකක්

ගිනි පෙට්ටියක්


චිත්‍රපටය සාදා ගන්නා ආකාරය

..............................................

චිත්‍රපටය තිරගත කිරීමට සති හතරකට පෙර බොරැල්ල හංදියෙං කොල්ලකු අල්ලාගෙන ඌ⁣ට තමා තෝරාගත් චිත්‍රපටය පෙන්නා කවුරු හෝ සමග එක්ව සෙට්එක සකසා දෙන්න යයි ඉල්ලා අර චිත්‍රපටයේ ආකාරයට ගෙදර කාමරය සකසා ගැනීම

ක්ලෝත්ෆෝබියාවෙන් පෙළෙන නිලියක් ලවා කැමරාව ඉදිරියේ රෙදි මාරු කරන්න සලස්වන්න.

ඉන් පසු ඇයට සෙමින් නිරුවතින් ඇවිද යන්නැයි පවසන්න....ඇය කාමරයෙන් එහාට හැරෙද්දි නිදා සිටින පූසාට කැමරාව අල්ලන්න...ඉන්පසු ඇය කුස්සියට හැරෙන තැනදී බල්ලාගේ ක්ලෝසප් එකක් ගෙන බුරන හඩක් පසුබිමට එකතු කරන්න .( බල්ලාගේ කරපටියෙහි සමාජවාදී රතු තරුව ඇත. Closeup)

ඉන්පසු නිරුවතින් කුස්සියට යන කාන්තාව ටැප් එකෙන් බටු ගෙඩියක් සෝදා පිහියෙන් කපන සමීප රාමුවක් ගන්න ( එයට විචාරකයෝ පුරුෂ විරෝධය වැනි මහා අර්ථයක් දෙනු නොඅනුමානය.)දැං බටු ගෙඩිය තෙල් ටිකක් දා බදින්න .( අහෝ ස්ත්‍රි හිස්ටරික බව ..විකල්ප විචාරකයෝ හඩනු ඇත.) 

දැං පූසා මේසය උඩය.. ඌ බදින ලද බටු  ව්‍යංජන ය දෙස බලා සිටී ( එය පුරුෂ ලිංගයේ ස්ත්‍රි  පිලිබිඹුවකැයි කේ කේ සමන් ලියනු ඇත.අපූර්වයි.) 


පසුබිමෙන් පිරිත් ස්වරයක් ඇසේ. කාන්තාව රතු පැහැ බිත්තරයක් කඩා පෑන් එකට දමයි එය පෙන්වන්නේ සෙවණැල්ලක් පරිදිය ( එය බෞද්ධ භාවයේ සංකේතීය  ගබ්සාවේ පිළිබිඹුවක්  යයි අජිත් ගලප්පත්ති ලියනු ඇත.) එමෙන්ම ඩෙරීඩා ස්ත්‍රි ආත්මයෙන් පුරුෂ කොටසට දෙකට වූවායයි දීප්ති කුමාර ගුණරත්න කැට තියනු ඇත. ඔක්කොම හොඳයි පෑන් එකට බිත්තරේ දාද්දි වමට සෑහෙන බර වුනා. ඔම්ලට් එකෙ දකුණු පැත්ත පුස්.මචං..ධනවාදයෙ අවුල පෙන්නන හැටි බලහං..බිත්තර සාරුවලිං එලියට පැනපු බී ලූනු කෑල්ල කරවෙලා..ඒ සංකේතීය අගය පට්ට... .ඒ විදර්ශන ය.. 

මේක මචං දෘෂ්ටිය අතින් මාර  ප්‍රබලයි. සිම්බලික අර්ථය බලහං..අනෙක උඹ දැක්කද මේ බිත්තරේ කහමද දෙකක් තිබ්බ ..ඒකෙං කියන්නෙ ධනේෂ්වර පක්ෂ දෙක මැද තමයි වම තියෙන්නෙ .වම තමයි සුද මදේ සංකේතාර්ථ මාර පර්ෆෙක්ට් .....ඒ බූපතිය..


දැං ස්ත්‍රිය නිල් කට්රොල් යොදා සැකසූ බත සමග බටු මාලුව බුදියි...( ස්ත්‍රි පුරුෂ සමානාත්මතා වේ පිළිබිඹුවක් අහෝ ! සුරේඛා සමරසේන ලියයි ) 

උයා අවසන් වූ  නිරුවත් ස්ත්‍රිය දොර අසල සිටින බල්ලාට හාදුවක් දී නාන කාමරයට වැද නිරුවතින්ම ස්නානය කරයි.( Closeup) නාන කාමරයේ කොනක පෑන්ටිය සහ බ්‍රෙෂියරය  එල්ලෙයි.( Closeup) (  ස්ක්‍රිය ආත්මය උනා දමා මාක්ස්වාදය ස්නානය කරයි ඒ චූලානන්ද සමරනායක ය) 


 ඉන් පසු ඇය  බාත් ටවල් එකකින් හිස කෙස එකට බැඳ නිරුවතින් ම සාලයට පැමිණ මාකස්ගේ රුව පිංතාරු කල කුෂනයක් මත සුවපහසුවට හිඳගෙන පසෙක ඇති ගිනිපෙට්ටිය දල්වා සුව පහසු ලෙස දුම් උගුරක් උරයි..( සමාජවාදයට පශ්චාත් බාගයදුන් ධනවාදයේ ව්‍යාජ ස්ත්‍රිත්වය යයි ජයසිරි අලවත්ත ලියනු ඇත.)  චිත්‍රපටය ට තෝරාගත් පූසාව කන්න නොදී දවසක් තබා ඌ හඩ නගන කෙදිරිය වෙනම පටිගත කර පසුබිම් සංගීතය ලෙස භාවිත කල හැක.( ස්ත්‍රි වැජයිනාවේ කෙදිරිය සංගීතය පිලිබිඹු කලා යනුවෙන් ගාමිණී වියන්ගොඩ ලියනු ඇත) 


දැං  නලුවා ඈෂ් ට්‍රේ එක  ස්ටූලයක් මත තබා කරකවන සමීප රූපරාමුවක්.ඈෂ් ට්‍රේ එක මතට නග්න ස්ත්‍රියගේ රුව වැටී ඇත.ඔහු එය ඒ මේ අතට හරවමින් බලයි. එතකොටම සමාජවාදී තරුව පැලඳි බල්ලා ස්ටූලයට නැග ඈෂ් ට්‍රේ එක පෙරලා දමයි.අම්මට හු....පං  කැම්රියා....නලුවා බෙරිහං දෙයි....( ධනවාදයේ මස් කට්ට ලෙවකන සුනඛයා සෑම විටම ස්ත්‍රි සෞන්දර්යයට ප්‍රතිවාදී වෙයි...කෙේ කේ සමන් කුමාර නැවත ලියයි )  අවසානයේ ටික ටික අඳුරු වී තිරය සහමුලින්ම අදුරු වෙයි කිසිවක් නොපෙනී යයි.අකුරු පමණක් පෙනේ...

කාන්තාව දැං පිරිමියාගේ ඔඩොක්කුවේ...

දැං දෙන්නා වැළඳගෙන ඉන්නවා

එකපාර අකුරු බොඳවේ.නිමි යයි වැටේ..

අකුරුවලිං  දෙන්නෙක් හැමිණෙනව දැක්කමයි පුදුමෝත්තවල් තමයි මෙව්වා... හැබැයි පොඩි මෙව්ව එකකුත් තියේ...සන්නස්ගල රැවුල අතගාමින් උරහිස් සලමින් දොඩනු ඇත. 


දැං ඔබ සම්භාව්‍ය වැඩිහිටි චිත්‍රපටය ක් නිපදවා තිබේ.එයට සිංහල බෞද්ධ මුහුණුවරක් දීමට අවැසිනම් ඔබ කල යුත්තේ නිරුවත් ස්ත්‍රිය සිගරට් දුම මුදා හරින දර්ශනයට සමපාතව බුදු පිලිමයක් ඉදිරියේ හදුන්කූරක් දැල්වෙන ආකාර…

සිරුර සහ අකුරු: ලේඛනය පිළිබඳ ප්‍රපංචවේදී විමසුමක්

  " සෑම කෙනෙකුගේම දවසේ සාහිත්‍යයක් ගොඩනැගිය හැකි වැදගත් මොහොතක් තිබේ. ඔබ ලිවිය යුත්තේ ඒ ගැනයි." – රේමන්ඩ් කාවර් මෙලොඩ්‍රාමා ශාන...